kumbukkan-oya-murder

පසුගිය ඉරිදා (19) පස්වරුවේ කුඹුක්කන් ඔයේ දිය නෑමට ගොස් සිටියදී සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක්  පාවෙමින් තිබියදී සොයාගැනීමට ලුණුගල පොලිසිය කටයුතු කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ තුඹපිටිය වත්ත, ජනතාපුර, ලුණුගල ලිපිනයේ පදිංචිව සිටි වරණසුරියගේ සුමිත්‍රා දමයන්ති නැමැති 38 හැවිරිදි දෙදරු මවක බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබුණි.
ඇය පස්වරු තුනට පමණ දිය නෑම සඳහා ඇයගේ 11 හැවිරිදි පුතු සමඟ කුඹුක්කන් ඔයට ගොස් පුතුට දිය නාවා නිවසට පිටත්කර යවා ඇති බවද ඉන් මද වේලාවකින් මව කෑ ගසන ශබ්දයක් ඇයගේ 17 හැවිරිදි දියණියට ඇසී මව දිය නාන ස්ථානයට ගොස් බැලීමේදී හිසෙහි තුවාල සහිතව වතුරට වැටී සිටි මව දැක තිබෙන බවද වාර්තා විය.
අසල්වැසියන්ගේ උදව් ඇතිව පොලිසිය වෙත දැනුම්දී තිබූ අතර මළ සිරුර ඇති ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරීන් හට ඇයගේ සිරුරේ තුවාල කැලැල් හඳුනාගන්නට හැකි විය.
මවගේ මරණය සැක සහිත බව දියණිය විසින් පවසා සිටි පසුව මළ සිරුර ඇති ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා අපරාධ පරීක්ෂණ නිලධාරීන් ගෙන්වා ඉදිරි විමර්ශන සිදු කිරීමට ලුණුගල පොලිසිය  කටයුතු කළේය.



ඇය විවාහවී සිටියද සැමියා සම්බන්ධ ප්‍රශ්නයක් පැවතිණි. අඹුසැමි යුවළ අතර ඇතිව තිබූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බිරිය සහ දරුවන් සිටින නිවෙසට පැමිණීමට සැමියා හට අධිකරණය මඟින් තහනමක් පනවා තිබී ඇති අතර ඒ පිළිබඳව ඇතිවූ සැකය ඔස්සේ පොලිසිය විමර්ශන සිදු කළේය.

මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තම බිරීය සමඟ ඇතිව තිබූ පවුල් ආරවුලක් හේතුවෙන් ඇය දිය නෑමට ඉකුත් 19 වැනිදා පස්වරුවේ නිවෙසට යාබද පිහිටි කුඹුක්කන් ඔයට පැමිණි අවස්ථාවේදී පළමුවෙන්ම කුඩා ගලකින් පහරදුන් බවත් එම පහරින් ඇය ඇදවැටීමෙන් පසු තවත් ගලක් ගෙන ඇයගේ හිසට පහරදීමක් කළ බවට පාපොච්චාරණයක් කළ බව ද පොලිසිය පවසයි.
ප්‍රධාන සැකකාර සැමියාගේ යහළුවා බව කියන 36 හැවිරිදි ත්‍රිරෝද රථ රීයැදුරකු පළමුව අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මියගිය කාන්තාවගේ 45 හැවිරිදි  ස්වාමිපුරුෂයා පෙරේදා (20) රාත්‍රි ලුණුගල නගරයට ආසන්නයේ අතුරු මාර්ගයක රැ‍ඳි සිටිමින් ප්‍රදේශයෙන් පළා යාමට සූදානමින් රැඳී සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.