මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේ පසුගිය 10 වැනිදා රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණි. හේරත්බණ්ඩාගේ උක්කුබණ්ඩා නමැති 51ක් හැවිරිදි පුද්ගලයෙකු විසින් දෙදරු මවක් ඉලක්ක කරගනිමින් පවුල් ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට සැකකරයි. එම වෙඩි පහරින් බරපතළ තුවාල ලබා සිටි දෙදරු මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (26) දහවල් මිය ගොස් ඇති බව මැදවච්චිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මහදිවුල්වැව, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි පියදාසගේ දිලීෂියා ශිරෝමි පියසේන නමැති 44 හැවිරිදි දෙදරු මවකි.
වෙඩි තැබූ සැකකරුද මහදිවුල්වැව, මැදවච්චිය ලිපිනයේ ම පදිංචි අයෙකි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටි තම පුතා සමඟ පසුගිය 10 වැනිදා රාත්‍රි 7.45ට පමණ රාත්‍රි ආහාර ගෙන අවසන් වී පිඟාන සේදීම සඳහා කුස්සියට පැමිණ පිඟාන සෝදමින් සිටි අවස්ථාවක කාන්තාවට වෙඩි තබා ඇත්තේ කුස්සිය පිටුපස මානා වර්ගයේ පඳුරුවලට මුවා වී සිටි සැකකරුයි. එහිදී වෙඩි පහර වැදීමට පෙර හිස එස වූ එම කාන්තාවගේ කලව සහ කොන්ද ප්‍රදේශවලට වෙඩි වැදී තිබූණි.
බෝර 12 දේශීයව නිෂ්පාදනය කළ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. එයින් තුවාල ලබා වැටී සිටි කාන්තාව අසල්වාසීන් එක්ව මැදවච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහිදී මූලික ප්‍රතිකාර ලබා දී වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇය මාරු කර යැවීමට මැදවච්චිය සෞඛ්‍ය බලධාරින් කටයුතු කළේය.
එහිදී අසාධ්‍ය තත්ත්වයේ පසුවූ එම මව දැඩි සත්කාර ඒකකයේ දින 16ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගිය බව රෝහල් බලධාරින් ප්‍රකාශ කළේය.
මෙම අපරාධය සිදුකළ සැකකරු ඉකුත් 10 වැනිදා රාත්‍රියේම මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්. අයි.බී. රත්නායක මහතා ඇතුළු මැදවච්චිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එදින සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවුල් ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කළ බවව පවසා ඇති අතර බෝර 12 ඔහු සැපයූ තොරතුරු අනුව මෙරට නිෂ්පාදිත නීති විරෝධි ගිනි අවිය සහ වෙඩි තබන ලද එස්.ජී. පතරොම් හිස් කොපුව මහදිවුල්වැව වැවට විසි කර දමා තිබිය දී එදින අලුයම 4.00ට පමණ සොයා ගැනීමට පොලිසියට හැකිව තිබේ.
එම සැකකරු අනතුරුව පසුගිය 11 දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි. එහිදී මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස මෙෙනවිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත.
කැබිතිගොල්ලෑව - එස්.ජී. උබේපාල
0 Comments