mount-lavinia-incident

 කාන්තාවකට පහර දුන් පුද්ගලයකු ස්වෙච්ඡාවෙන් ගල්කිස්සේ පොලීසියට පැමිණ සුළු වේලාවකදී රෝගාතුර වී අනතුරුව රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සදහන් කරයි.කටුබැද්ද දේවාල පාර දන්දෙණිය වත්ත පදිංචිව සිටි ජයනාත් පෙරේරා (54) නමැත්තෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.



රත්මලාන මීඩියල් හරස්පාර පදිංචි කාන්තාවක තමන්ට පුද්ගලයකු පහර දුන් බවට පැමිණිලි කිරීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණ තිබු බව පොලීසිය සදහන් කරයි.එයින් සුළු වේලාවකට පමණ පසු හර දුන් බව කියන පුද්ගලයාද ස්වේච්ඡාවෙන් පොලීසියට පැමිණ තිබූ අතර ඔහු විවිධ පැමිණිලි අංශය තුළදී හදිසි රෝගී තත්ත්වයකට ලක්ව සිහිසුන්ව වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලීසිය සදහන් කරයි.



එලෙස ඇතුළත්කරන ලද රෝගියා මද වේලාවකට පසු මියගොස් තිබු බව උසස් පොලිස්නිලධාරියෙක් පැවසීය. අදාළ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට කටයුතු කළ අතර හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බව පොලීසිය පවසයි. ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ