
මුරුතලාව ගොඩමුදුන ප්රදේශයේ විහාරස්ථානයක දොරක් කඩා එහි කාමරයකට හිමිවරු තිදෙනෙකු ඇතුළු වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විහාරවාසී හිමිනමක හා දායක සභාව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පේරාදෙණිය පොලීසිය අදාළ හිමිවරුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
හිමිවරුන් තිදෙනා කාමරයට ඇතුළු වීමෙන් පසු අදාළ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් අතුරුදන් වී තිබෙන බවට ද පැමිණිල්ලේ සඳහන් වන බව පොලීසිය පවසයි.
කාමරයට ඇතුළු වූ බව කියන හිමිවරු තිදෙනා අතරින් එක් හිමිනමක් කලකට ඉහත දී මෙම විහාරස්ථානයේ වැඩවාසය කර තිබෙන බවත් නොමනා ලෙස හැසිරුණේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් දායක සභාව විසින් 2012 වසරේ සිට එම හිමිනමට විහාරස්ථානයේ රැඳී සිටීමට ඉඩ ලබා දී නොමැති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
විහාරාධිපති හිමිනම අපවත්වීමෙන් පසු අදාළ හිමිනම විහාරස්ථානයේ කාමරයක අයිතිය ඉල්ලා අධිකරණයට ගොස් තිබෙන අතර දීර්ඝ නඩු විභාගයකින් පසු එහි හිමිකම එම හිමිනමට ලැබී ඇත.
ඒ අනුව අදාළ හිමිනම තවත් හිමිවරුන් දෙදෙනෙකු සමඟ පෙරේදා (07) පස්වරුවේ විහාරස්ථානයට පැමිණ තමන්ට අයිතිය හිමිවූ කාමරයේ අගුළු කඩා එයට ඇතුළු වී තිබේ.
දායක සභාව සහ එහි වර්තාමනයේ වැඩවාසය කරන හිමිනම මෙයට විරෝධය දක්වා පේරාදෙණිය පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසු මුදල් සොරකමක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වීම හේතුවෙන් අදාළ හිමිවරු තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
(අසේල කුරුළුවංශ)
Comments
Post a Comment
Your comment will be visible after approval