mynmar-fisheries-issue

මියන්මාර වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාරවල රඳවා සිට මෙරටට එවූ ලාංකික ධීවරයන් 15දෙනකු තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ධීවරයන් කටුනේරිය, මාරවිල, උස්වැටකෙයියාව සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 18 සිට 50 දක්වා වයස් සීමාවල පසුවන්නන්ය.



ඔවුන් අතරින් 07 දෙනකුගෙන් සමන්විත ධීවර පිරිසක් ඉකුත් 2023 ඔක්තෝම්බර් මස 23 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබේ.

අනෙක් 08 දෙනාගෙන් යුතු ධීවර කණ්ඩායම ද එම වසරේම නොවැම්බර් 07 වැනිදා පුත්තලම, කල්පිටිය ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණි.

ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රා මුහුද මැදදී කාර්මික දෝෂවලට ලක් වී අක්‍රීය වී පාවෙමින් තිබියදී මියන්මාර වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්පසු ඔවුන් එරට බන්ධනාගාරවල රඳවා තබා ගැනීමෙන් පසු නිදහස් කර පසුගිය 11 වැනිදා මෙරටට පිටුවහල් කර ඇත.

මෙම ධීවරයන් පිරිස පිළිගත් ගුවන් තොටුපොළකින් හෝ වරායකින් විදේශගත නොවීමේ චෝදනාව මත මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබේ.