nittambuwa-incident

නිට්ටඹුව තිහාරිය උතුර ගම්මානයේ අවමගුල් නිවසක විදුලි රැහැන් අදිමින් සිටි පිරිසකට පෙරේදා (12) රාත්‍රියේ අධිබල විදුලිසැර වැදීමෙන් එක්අයෙකු ජීවිතක්ෂයට පත්ව සිවුදෙනෙකු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලීසිය සදහන් කරයි. කළගෙඩිහේන, තිහාරිය උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සමීර ප්‍රදීප් කරුණාසේකර (41) හැවිරිදි දෙදරු පියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.



මියගිය අය ඇතුළු පිරිසක් සිය මිත්තණියගේ අවමගුල වෙනුවෙන් විදුලි ආලෝකය සැපයීමේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි හෙළි වී තිබේ. මියගිය අයගේ නිවස ආසන්නයේම ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ නිවස පිහිටා තිබෙන අතර එම නිවසේ මිත්තණියගේ දේහය තැන්පත් කර ඇත.

එම මළගෙදරට ආලෝකය සැපයීමට වයරයක් ඒ අසල විදුලි රැහැන්වලට ඉහළින් දැමීමට ගිය අවස්ථාවේ ඊටත් ඉහළින් පිහිටා ඇති අධිබලැති විදුලි රැහැන්වල ගැටීමත් විදුලිසැර වැදී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ සහෝදරයා ඇතුළු තවත් 4 දෙනෙකුටද විදුලිසැර වැදී ඇත. පසුව ඔවුන් පස්දෙනා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයකු මියගොස් ඇති බවත් තවත් තිදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් මියගිය පුද්ගලයාගේ වැඩිමල් සහෝදරයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. නිට්ටඹුව මූලස්ථාන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
ආනන්ද ඉ ජයකොඩි