ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක හෝ සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියට පත් ඕනෑම තැනැත්තකු සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමේ නීතිමය බලය ඇති ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ඊයේ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත් කරන ලදි.
එලෙස ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා වශයෙන් පත්වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් විශේෂ ශ්‍රේණිධාරි (විශ්‍රාමික) ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතාය. ඒ මහතා ආයතන, සංස්ථා, මණ්ඩල ගණනාවක සභාපතිවරයා ලෙසත්, අධ්‍යක්ෂ ජනරාල් ලෙස මෙන්ම අමාත්‍යාංශ ගණනාවක අතිරේක ලේකම් හා අමාත්‍යාංශ ලේකම් ලෙසත් අත්දැකීම් බහුල පුද්ගලයෙකි.
යම් හේතුවකින් ක්‍රීඩාවේ අගතියට පත්වන පුද්ගලයා එවැනි තීරණයකින් හෝ ක්‍රියාවකින් දින 14ක කාලයක් ඇතුළත ක්‍රීඩා ඔම්බුඩ්ස්මන් වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. සාධාරණ හා අපක්ෂපාතී සමාලෝචනයකින් පසුව ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා විසින් එම ඉල්ලීම ලැබී දින 14 ක් ඇතුළත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත තම නිර්දේශ ඉදිරිපත් කළ යුතුය.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් පැවරී ඇති බලතල අනුව හා පනතේ 31 වැනි වගන්තිය සමග කියවිය යතු 41 වැනි වගන්තිය යටතේ පසුගිය 3දා නිකුත් කළ අංක 2382/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව මේ පත්වීම සිදු කොට ඇත.
සෑම ජාතික ක්‍රීඩා සංගමයක්ම ඔම්බුඩ්ස්මන්වරයාගේ සම්බන්ධීකරණ තොරතුරු සමඟ ඔම්බුඩ්ස්මන්වරයාගේ සේවය ලබා ගත හැකි බව එහි සාමාජිකයන්ට සහ ක්‍රීඩකයන්ට වාර්ෂිකව දැනුම්වත් කළ යුතුය.
(ප්‍රින්ස් ගුණසේකර)
0 Comments