onmax-dt-case

රුපියල් කෝටි 3000කට අධික ජනතා මුදල් භාරගනිමින් නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළේ යැයි චෝදනා ලැබූ “ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනය අදාළ මුදල් තැන්පත්කරුවන්ට ආපසු ගෙවනු ලැබුවත් පිරමීඩාකාර නීතිවිරෝධී මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් එම ආයතනයේ අධ්‍යක්‍ෂවරුන්ට කිසිදු සමාවක් දිය නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (28දා) දැනුම් දුන්නේය.නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් දිගින් දිගටම ජනතා මුදල් රැස් කර ඇති සැකකරුවන් ඉඩකඩම්, ගෙවල්දොරවල්, යානවාහන, දේපළ,රැස් කර ඇති සැකකරුවන්ට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙන්ම බැංකු පනත යටතේද මහාධිකරණයේ නඩු පැවර්මට පියවර ගැනීමට කටයුතු කරන බව රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත මුදාහැර සිටින අධ්‍යක්ෂවරුන් වන ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන්, සාරංග රන්දීප සහ ධනංජය ජයාන් නමැති පස්දෙනා අධිකරණයේ පෙනී සිටි අතර අධිකරණය මඟහැර සිටින සැකකරුවන් වන ගයාන් චාමර වික්‍රමතිලක, සෑම් බස්නායක සහ ජොර්ජියානු ජාතිකයකු වන කකර්බර්ස් අස්ලානී විලී නමැති තිදෙනා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහේස්ත්‍රාත්වරයා යළිත් වරෙන්තු නිකුත් කළේය.ත

ැන්පත්කරුවන්ට මුදල් ගෙවීමේ හැකියාවක් ඇද්ද? යන්න පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගිය නඩු වාරයේදී කළ නියෝගයකට අනුව සැකකාර අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා එම සවිස්තර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් තම සේවාදායකයන්ට එරෙහිව බැංකු පනත යටතේ මුල් අවස්ථාවේදී විමර්ශන ආරම්භ කළේ යැයි කීය.

"ඔන්මැක්ස්ඩී.ටී.” ආයතනය තැන්පත්කරුවන්ගෙන් මුදල් රැස් කළේ මාස 18ක් ඇතුළත ඔවුන්ට තුන් ගුණයකින් යළි මුදල් ගෙවීමේ පොරොන්දුව මත බවත්, තැන්පත්කරුවන්ගෙන් භාරගන්නා මුදල් 'බයිනෑන්ස්' ක්‍රමය සහ කිස්ටොකරන්සි හරහා මුදල් ආයෝජනය කර තැන්පත්කරුවන්ට යළි මුදල් ලබාදීමේ ක්‍රමවේදය දියත් වූයේ යැයි කී සැකකාර අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයන් මේ වන විටත් තැන්පත්කරුවන් 244,689 දෙනෙකුට ඩොලර් මිලියන 83 ක මුදලක් ආපසු ගෙවා ඇතැයිද මුදල් ගෙවීමට ඇත්තේ තවත් තැන්පත්කරුවන් 61,210කට පමණකැයිද ඔවුන්ට ඩොලර් මිලියන 18 ක මුදලක් ගෙවීමට ඉතිරිව ඇතැයිද කීය.

මුදල් ගෙවීමට ඉතිරිව ඇති තැන්පත්කරුවන්ගේ අනන්‍යතාව හඳුනාග හැකි ඊමේල් ලිපින හා සියලු කේත හා ඊට අදාළ ලිපි ලේඛන රහස් පොලීසියට විවෘත අධිකරණයේදී භාර දුන් අනුජ ප්‍රේමරත්න මහතා තම සේවාදායකයන්ට ඕනෑම චෝදනාවක් ගොනු කරන ලෙසත් තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට තම සේවාදායකයන්ට ඉඩදෙන ලෙසත් ඉල්ලා සිටියේය. අධිකරණය මඟින් මේ වන විටත් තහනම් කර ඇති යූ.එස්.ඩී.ටී ගිණුම් මෙම නඩුවේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තම සේවාදායකයන්ට පරිශීලනය කිර්මට ඉඩ දෙන්නේ නම් වසර 02ක කාලයක් තුළ මෙම මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ හැකියාව ඇතැයි අනූජ ප්‍රේමරත්න මහතා පැවසීය.



පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දක්වමින් යු.එස්.ඩී.ටී. කියන අත්‍යන්ත මුදල් වර්ගයක් නිසා එම මුදල් නිදහස් කිරිමට ඉඩදිය නොහැකි යැයි කීය. මෙය වොලට් මුදල් වර්ගයක් නිසා අස්ථානගත වීමේ හැකියාව ඇතැයිද එසේ ඉඩ දුනහොත් හෙට වෙද්දී මේ මුදල් කා අතට පත් වේදැයි විශ්වාසයක් නැතැයිද මේ සම්බන්ධයෙන් සියලු විස්තර ඇත්තේ සැකකරුවන් ළඟ යැයිද කී ඔස්වල්ඩ් පෙරේරා මහතා තැන්පත්කරුවන් රුපියල්වලින් තැන්පත් කළාද?

ඩොලර් වලින් තැන්පත් කළාද? ඊට අතරමැදියෝ ඉන්නවද? ඒ සියලු විස්තර සැකකරුවන් සතු බවත් මෙය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් බවත් කීය.අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කරමින් පිළියන්දල ප්‍රදේශයේ තැන්පත්කරුවන් 2153 දෙනෙකු රුපියල් කෝටි37 තැන්පත් කිරීමට අදාළ ලේඛන විමර්ශකයන්ට භාර දුන් අතර මුදල් ගෙවීමේදී එම ලේඛන නඩුවේ කොටසක් ලෙස සලකන්නැයි ඉල්ලා සිටියේය. නීතිඥ ආර්.ඒ.පී. රණවක මහතා කරුණු දක්වමින් සැකකරුවන් සුඛෝපභෝගී හෝටල්වල නතර වෙමින් සිටින හෙයින් විමර්ශනය කඩිනම් කර මුදල් ගෙවීම් ආරම්භ කරන්නැයිද එසේ නොකළහොත් ආයතනයේ දේපළ ක්‍ෂය වීමට හැකියාව ඇතැයිද පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිස් නිලධාර්න් අමතමින් මෙම ආයතනය සතු ඉඩම් 31ක් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා කැඳවා ඇද්ද? මේ වන විට හඳුනාගෙන ඇති දේපළ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට ප්‍රමාණවත්ද? යනුවෙන් කළ විමසීමකට පිළිතුරු දුන් රහස් පොලිස් නිලධාහු මේ වනවිට හඳුනාගෙන ඇති දේපළ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට ප්‍රමාණවත් නැතැයි කීය.

සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව තැන්පත්කරුවන් හා දේපළ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගෙවීම් ක්‍රමවේදය පිළිබඳව කරුණු දැක්වීමටද නියම කළේය. නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් පෙනී යන හෙයින් නීතිය අතට ගෙන කටයුතු නොකරන ලෙස අගතියට පත් පාර්ශ්වකරුවන්ට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූලි මස 09 වැනිදා යළි කඳවීමටද නියම කළේය.

බුද්ධිමාල් රුබේරු