pinwatte-incident

රුපියල් 500 ක් හොරෙන් ගත්තැයි වැඩිමහලු සොහොයුරාට අතින් පයින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ මල්ලී අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්වත්ත උපෝසථාරාම පාරේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.



පින්වත්ත උපෝසථාරාම පාරේ පදිංචිව සිටි ජයන්ත සිල්වා නමැති 52 හැවිරිදි තැනැත්තෙක් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගියේය.සැකකරු, මියගොස් ඇති වැඩිමහලු සොයුරා සහ මව සමග නිවසේ පදිංචිව සිටින අතර රුපියල් 500 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ කතාබහක් දුරදිග යාමෙන් සිය වැඩිමහලු සොහොයුරාට ඉකුත් 13 දා පහර දී ඇති බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.පහර කෑමෙන් තුවාල ලබා සිටි තැනැත්තා ඉකුත් 21 දා පානදුර මූලික රෝහලේ දී මියගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ කරුණු මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
සුමිත් පොතුපිටිය