පාදයේ ආබාධයක් නිසා අසාධ්‍යව සේවයට වාර්තා කිරීමට අපහසු බව දන්වා මාස ගණනාවක් අසනීප නිවාඩු ඉල්ලුම් කළ බන්ධනාගාර නියාමකවරයකු ලෙඩුන් සුව කරන්නේ යැයි ප්‍රචාරය කරන, දැනට ඇප මත මුදා හැර සිටින දේවගැතිවරයකුගේ සුව මෙහෙයකදී අදාළ දේවගැතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස වේදිකාවකින් මතුවීමේ සිද්ධියක් පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇත.
කොළඹ බන්ධනාගාරයක සේවය කරන මෙම නියාමකවරයා පසුගිය ජනවාරි මස දෙවැනි සතියෙන් පසු ඊයේ (19) වනතෙක් රාජකාරියට වාර්තා කර නැති අතර
ඔහු විසින් දිගින් දිගටම වෛද්‍යවරුන්ගෙන් ලබා ගත්තේ යැයි කියන ප්‍රතිකාර සඳහන් කරමින් අසනීප නිවාඩු ඉල්ලුම් කර තිබිණි. පාදයේ ආබාධය නිසා ඇවිදීමේ අපහසුතා මතුව ඇති බවත් රාජකාරියට පැමිණිය ද කටයුතු කිරීමට තම අසනීප තත්ත්වය බාධාවක් බවත් ඔහු පවසා ඇත. ඒ අතරම, රජයේ සේවකයන්ට හිමි වන අවුරුදු 05ක නිවාඩුව ද ඔහු විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අයදුම් කර තිබුණ ද
ඒ සඳහා අවසර හිමි වී නොතිබිණි. එසේ නිවාඩු අනුමත නොවූ නිසා අදාළ බන්ධනාගාර අධිකාරිවරයා මෙම නියාමකවරයා ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ වහාම සේවයට වාර්තා කරන ලෙසයි. එහෙත් ඔහු විසින් දිගින් දිගටම අසනීප නිවාඩු ඉල්ලා දැනුම් දී ඇත්තේ තමා පාදයේ ආබාධයකින් පෙළෙමින් අසනී බව කියා ප්‍රතිකාර ලබන බවයි. මෙසේ පාදයේ ආබාධයකින් පසුවන්නේ යැයි මාස 04ක පමණ කාලයක් තිස්සේ සඳහන් නියාමකවරයා පසුගිය දිනක, දැනට ඇප මත සිටින දේවගැතිවරයකුගේ ලෙඩ සුව මෙහෙයකට ඒම දේවගැතිවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස කළු කලිසමක් සහ එයටම ගැළපෙන කබායක් (coat) ඇඳ ඔහු පිටුපසින් ඉතා වේගයෙන් පඩි පෙළ බසිමින් දිව යන ආකාරය දැක්වෙන 'ටික් ටොක්' වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙතින් බන්ධනාගාර බලධාරීන්ට දැක ගැනීමට හැකි වී තිබේ.
මේ පිළිබඳ බන්ධනාගාර බලධාරීන් විමසිලිමත්ව යළි යළිත් එම වීඩියෝව නැරඹීමේදී තහවුරු වී ඇත්තේ ඒ අදාළ නියාමකවරයාම බවයි. වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර බලධාරීන් මෙම නියාමකවරයාට එරෙහිව
ඔහු සේවයේ නිරතව සිටි බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔහුගේ නිවෙසට ගොස් සේවයට නොපැමිණීම සහ අදාළ සිද්ධි පිළිබඳ පෙරේදා (18) ප්‍රකාශයක් ලබාගෙන ඇත. එහිදී ද ඔහු පවසා ඇත්තේ තමන් පාදයේ ආබාධයක් නිසා සේවයේ යෙදීමට අපහසු බැවින් අසනීප නිවාඩු ඉල්ලුම් කළ බවයි. එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමට ගිය බන්ධනාගාර නිලධාරියා ද විමතියෙන් ප්‍රශ්න කර ඇත්තේ පාදයේ ආබාධයක් ඇත්තේ නම් 'ටයි කෝට්' පැලඳ කිසිදු අපහසුතාවක් පෙන්නුම් නොකර අදාළ දේවගැතිවරයා සමඟ ඉතා වේගයෙන් පඩිපෙළ බැස යෑම විස්මිත බවයි. අදාළ නියාමකවරයාගේ ප්‍රකාශ මෙන්ම ඔහු සම්බන්ධ 'ටික් ටොක්' වීඩියෝව ද සැලකිල්ලට ගනිමින් ඔහු පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
0 Comments