අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්වය මේ වන විට දිස්ත්‍රික්ක 9කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ආපදා තත්ව හේතුවෙන් මේ වන විට එම දිස්ත්‍රික්කවලට අයත් පවුල් 7,323 කට අයත් 29,228ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.මෙයට අමතරව නිවාස 164කට අර්ධ හානි සිදු වී පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා ඇති බවත්
එම මධ්‍යස්ථානය සඳහන් කරයි.ආපදා තත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් පුත්තලම දිස්ත්‍රික්කයට සිදු වී ඇති අතර, එහි පවුල් 6,261කට අයත් 25,678ක පිරිසක් පීඩාවට පත්ව සිටිති.පුත්තලම දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන 10ක පවුල් 537කට අයත් 1,775 ක් රඳවා තබා ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මෙයට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 28කට අයත් 100 දෙනකු,කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 432කට අයත් 946 දෙනකු, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 347කට අයත් 1,491 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 36කට අයත් 123 දෙනකු, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 133කට අයත් 561 දෙනෙකු,ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 49 කට අයත් 186 දෙනකු,මාතර දිස්ත්‍රික්කයේ පවුල් 36කට අයත් 141 දෙනකු සහ යාපනය දිස්ත්‍රික්කයේ දෙදෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර, නිරිත දිග මෝසම සක්‍රිය වීමෙන් වැසි තත්වය වැඩි වී ඇති බැවින් ගංගා ඇළ දොළ සහ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින්, ඒ පිළිබඳ තවදුරටත් සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.කැලණි, කළු, ගිං, නිල්වලා ආදි ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය සහ දැදුරු ඔය ඇතුළු ජලාශවල ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.කළු ගඟේ අතු ගංගා වන කුඩා ගඟ සහ අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශ වල සුළු ගංවතුර අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.ඉදිරියේදී වර්ෂාව තදින් ඇති වුවහොත්, මෙම ගංගා සහ ඇළ දොළවල ගංවතුර ඇති වීමේ අවදානම් තත්වයක් පවතින බවත් වාරිමාර්ග අධ්යක්ෂවරයා පැවැසීය.අධික වැසි සහිත තත්වය නිසා දිය පහරවල්, අතු ගංගා ආදිය සැඩ විය හැකි බැවින්,
ඒවායේ ගමන් කිරීම සහ දිය නෑමෙන් වැළකී සිටිය යුතු බවත් සුගීෂ්වර මහතා කීවේය.
එමෙන්ම, අධික වර්ෂාපතනයත් සමඟ නගර ආශ්රිත මහාමාර්ගවල ක්ෂණිකව ගංවතුර තත්වයක් ඇති විය හැකි බැවින්, රථවාහන රියැදුරු මහත්වරුත් සහ මගීන් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ඔහු සඳහන් කළේය.මේ අතර, දැදුරු ඔය, රාජාංගණය සහ අංගමුව උඩවලව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බැවින්, ඒ අවට ජනතාව අවධානයෙන් පසු වන ලෙසත් සුගීෂ්වර මහතා කීවේය.මේ අතර, බොරැල්ල දේවි බාලිකා විද්‍යාලය අසල තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ ( 21 ) උදෑසන ඒ අවට මාර්ගය අවහිර විය.අනතුරින් වාහන කිහිපයකට ද හානි සිදු වී තිබිණි. මෙයට අමතරව කොළඹ අවට මාර්ග කිහිපයක ගස් සහ අතු කඩා වැටීම් හේතුවෙන් රිය ධාවන කටයුතු වලට ද බාධා එල්ල වී තිබිණ. කොළඹ මහ නගර සභාව මැදිහත් වීමෙන් එම ගස් ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරිණි. මේ අතර, අධික වර්ෂාව සහ තද සුළං සහිත තත්වය වෙසක් තොරණ ඇතුළු වෙසක් නිර්මාණවලට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ.
නිමල කොඩිතුවක්කු
0 Comments