raisi-death-russia-reaction

ඉරාන ජනාධිති ඊබ්‍රාහිම් රයිසි මියගියේ ලෝකයටම ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක්ද, කුතුහලයක්ද, සැකයක්ද එකතු කරමිනි. ජනාධිපතිවරයා සහ පිරිස ජීවිතක්ෂයට පත් වූයේ ගුවන් අනතුරකින් වූව ද ඒ සම්බන්ධයෙන් බොහෝදෙනකුට විශාල සැකයක් මතුව තිබේ. ඉරානයේ අධ්‍යාත්මික නායක අයතොල්ලාහ් අලි කොමේනි විටෙක සඳහන් කළේ ගුවන් අනතුර මිසයිල ප්‍රහාරයක් නිසා සිදුවූවක් ද විය හැකි බවයි. මේ ප්‍රකාශය පදනම් කරගෙන ම නොවූවත් ඉරානය සමග දැඩි කෝපයෙන් පසුවන ඊශ්‍රායෙලය මෙම ගුවන් අනතුරට වගකිව යුතු ද යන කූතුහලය විශාල පිරිසකගේ සිත්වල ආරම්භයේ සිට ම පැවතිණි. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් බලධාරීන් මේ වනතුරු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. එසේ වූවත් ඊශ්‍රායෙලයේ නිලධාරීන් පිරිසක් තම නම් ප්‍රකට නොකරන ලෙස ඉල්ලා සිටිමින් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබුණේ "ඒ, අප නොවේ" යනුවෙනි. ඊශ්‍රායෙලයට දෝෂාරෝපණය කරන මාධ්‍ය වෙත ද ඔවුහූ සිය නොකැමැත්ත පළ කර තිබුණහ.



ඉරාන ජනාධිපතිවරයා පසුගිය 19 වැනිදා අනතුරට පත් වූයේ ඉරාන - අසර්බයිජාන දේශසීමාවෙහි වූ ක්විස් කලාසි සහ ඛෝදා අෆාරින් (Qiz Qalasi and Khoda Afarin dams) නම් වේලි දෙකෙහි කටයුතු ආරම්භ කිරීම සඳහා ගොස් ආපසු එමින් සිටියදී ය. මෙකී වේලි පිහිටා තිබෙන්නේ නැගෙනහිර අසරබයිජානයේ වයඹ දෙසට වන්නට ය. වේලි දෙක ආශ්‍රය කරගෙන දෙරටේ සහයෝගිතාවයෙන් විදුලි බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එම අවස්ථාවට අසර්බයිජාන පාර්ශ්වයෙන් එරට ජනාධිපති ඉල්හාම් අලියෙෆ් සහ නිලධාරීහු ද පැමිණ සිටියහ. ඉරානය පාර්ශ්වයෙන් රයිසි සමග විදේශ කටයුතු අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දොල්ලාහියන්, නැගෙනහිර අසර්බයිජාන ප්‍රාන්තයේ ආණ්ඩුකාර මලෙක් රහ්මටි, ටබ්රිස්හි සිකුරාදා යාඥාවන් සිදු කරන අයතුල්ලාහ් මොහම්මඩ් අලි අලෙහශෙම් ඉමාම්වරයා සහභාගී වී සිටියෝ ය. රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානයේ නියමුවෝ දෙදෙනෙක් ද, නිලධාරීහු සහ උසස් ආරක්ෂක නිලධාරීහු තිදෙනෙක් ද සිටියහ. ඒ අනුව නවදෙනකු එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගෙන තිබිණ. එම යානයට අමතරව තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ඉරානය පාර්ශ්වයෙන් එම අවස්ථාවට ගොස් තිබුණු බව සඳහන් වේ. ඒවායෙහි රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයෝ ගමන් ගනිමින් සිටියහ. වේලි දෙකෙහි කටයුතු ආරම්භ කිරීමෙන් පසු රයිසි සහ පිරිස හෙලිකොප්ටරයට ගොඩ වැදී තිබෙන්නේ එතැන් සිට කිලෝමීටර 130ක් පමණ දකුණෙන් පිහිටි ටබ්රිස් නගරයට ළඟා වීමේ අරමුණෙනි. එහි පිරිපහදුවක කටයුතු ආරම්භ කිරීමට සහභාගී වීම රයිසිගේ ඊළඟ අරමුණ විය.



රයිසි ගමන් ගත් යානය එරට වේලාවෙන් පස්වරු 1.30ට පමණ අනතුරට ලක්ව තිබේ. ඒ වනවිට ඔවුන් ක්විස් කලාසි වේල්ලේ සිට කිලෝමීටර 58ක් දකුණු දෙසට ගමන් කර තිබිණ. එකී පෙදෙස උතුරු ඉරානයේ ඉතා දුෂ්කරවූත්, කඳු සහිතවූත් පෙදෙසකි. මේ අනතුර ගැන සාමාන්‍ය ජනයාට දැන ගත හැකි වූයේ ඉරාන රජයේ රූපවාහිනී සේවය එරට වේලාවෙන් පස්වරු 4.00ට පමණ තොරතුරු විකාශනය කරන විටදී ය. ඒ අවස්ථාවේදී ද රූපවාහිනියෙන් කියා සිටියේ ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩ බා ඇති බවයි. එම ගොඩ බෑමට හේතුව ප්‍රදේශයේ පවත්නා දැඩි මීදුම, හිම සහ වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය බව ද මාධ්‍ය මගින් ප්‍රකාශ කෙරිණ. ඒ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද තහවුරු කළේ ය. ජනාධිපතිවරයාගේ හෙලිකොප්ටරය ආසන්නයෙන් ගමන් ගත් අනෙක් හෙලිකොප්ටර යානා දෙක ද හදිසියේ ගොඩ බා තිබිණ.

රයිසි සහ පිරිස ගමන් ගත් හෙලිකොප්ටරය හදිසියේ ගොඩබෑවේ කොතැනකට ද යන්න සොයා ගැනීම සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් වහා ම කඳුකර ප්‍රදේශයට පිටත් කර යවනු ලැබූ බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර විධායක කටයුතු පිළිබඳ උප ජනාධිපති මොහ්සෙන් මන්සූරි කියා සිටියේ ජනාධිපතිවරයා ගමන් ගත් යානයේ නිලධාරීන් දෙදෙනකු සමග සන්නිවේදන සම්බන්ධතා ගොඩ නගා ගත් බවයි. එසේ වූවත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔහු හෙළි නොකළේ ය. ජනාධිපතිවරයා විපතට පත්ව ඇති බව දැනගත් රටවැසියෝ වහ වහා දෙවියන් යදින්නට පටන් ගත්හ. මුදාගැනීමේ මෙහෙයුම සඳහා පිටත්ව ගිය නිලධාරීහු පසු දා අලුයම 5.00 පමණ වනවිට හෙලිකොප්ටරයේ සුන්බුන් දුටුහ. ඒ සුන්බුන් පැවැතියේ ඔවුන් ගමන් ගනිමින් සිටි ස්ථානයට කිලෝමීටර 2ක් පමණ ඈතිනි. හෙලිකොප්ටරය සුන්බුන් වෙත තවත් පැයකින් පමණ ඔවුහූ ළඟා වූහ. සුන්බුන් දක්නට ලැබුණේ මුහුදු මට්ටමේ සිට මීටර 2200ක් පමණ ඉහළ කඳුකර පෙදෙසකදී ය. යානයේ ගමන් කළ කිසිවකු තවදුරටත් ජීවත්ව සිටින බවට කිසිදු සලකුණක් නොමැති බව සුන්බුන් ආසන්නයට ගමන් කළ මෙහෙයුම් නිලධාරීන්ට තහවුරු විණ. හෙලිකොප්ටරයේ සුදු සහ නිල් පැහැයන් ආලේපිත වලිගය කොටසත්, ගිනිගෙන දැවී ගිය ශාකත් ඔවුන්ට දැකගන්නට ලැබුණේ ය.

හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් පිරිසගේ දේහයන් සොයා ගැනීමට පසුව හැකි විය. ඉරාන අවදානම් තත්ත්ව කළමනාකරණ ඒජන්සියේ නිලධාරියකු සඳහන් කළේ සියලුම දේහ හඳුනාගත හැකි මට්ටමේ පවතින බවයි. එනිසා ඩී.එන්.ඒ. පරීක්ෂාවන් සිදු කිරීමේ අවශ්‍යතාවක් නැති බව ද ඔහු අවධාරණය කළේ ය. ගුවන් යානයේ ගමන් ගත් අයතුල්ලාහ් අලෙහශෙම් අනතුරෙන් පැයකට පමණ පසුවත් ජීවතුන් අතර සිටි බව එම නිලධාරියා තහවුරු කළේ ය. ජීවිතක්ෂයට පත්වීමට පළමුව අලෙහශෙම් ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා සමග කතා කළ බව ද ඔහු කියා සිටියේ ය.



හෙලිකොප්ටරය අනතුරට ලක් වූයේ කවර හේතුවක් නිසා ද යන්න ඉරාන රජයේ බලධාරීන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. එසේ වූවත් හෙලිකොප්ටරය අනතුරට පත් වූ ප්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වයක් පැවැති බව අවිවාදයෙන් තොර කරුණකි. මේ අතර හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් පැන නැගිණිද? හෙලිකොප්ටරය ධාවනයට නුසුදුසු තත්ත්වයක පැවතියේ ද යන කරුණු කෙරෙහි ද විවිධ පාර්ශ්වවල අවධානය යොමු වී තිබේ.

අනතුරට පත් වූයේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයකි. එය නිමවා තිබෙන්නේ කවර වසරේදී ද යන්න පැහැදිලි නොවේ. ඇතැම් තැනක කියැවෙන්නේ අනතුරට පත් යානය මීට වසර හතළිහකට පමණ පෙර නිපදවූවක් බවයි. කැනඩාවේ හමුදාමය අවශ්‍යතා සඳහා එක් දහස් නවසිය හැට ගණන්වලදී එකී මාදිලියේ හෙලිකොප්ටර තනා තිබෙන්නේ එක්සත් ජනපද සමාගමකි. ඉරාන නාවුක හමුදාව සහ ගුවන් හමුදාව සතුව එවැනි හෙලිකොප්ටර යානා දහයක් ඇති බව වාර්තා මගින් අනාවරණය කෙරේ. එසේ වූවත් ඉරාන රජය සතු ඒ ආකාරයේ හෙලිකොප්ටර සංඛ්‍යාව නිශ්චිතව ම කීයක් ද යන්න නිවැරදිව අනාවරණය නොවේ. කෙසේ වූවත් බටහිර රටවල් ඉරානයට පනවා ඇති සම්බාධක හමුවේ මේ හෙලිකොප්ටරවල අලුත්වැඩියා කටයුතු අඩපණ වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සේවාවන් පෙන්වා දෙයි. අඩු තරමින් එම හෙලිකොප්ටරවලට අවශ්‍ය අමතර කොටස්වත් ඉරානයට ගෙන්වා ගැනීමට අවකාශයක් නොමැති බව ද සඳහන් වේ. බෙල් වර්ගයේ හෙලිකොප්ටර අලුත්වැඩියා කිරීමට අවශ්‍ය දැනුම සහිත අයවලුන් ඉරානයේ සිටින්නේ ද යන්නත් ගැටලුවකි. ඒ අනුව රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය දීර්ඝ කාලයක් මුළුල්ලේ නිසි ආකාරයෙන් අලුත්වැඩියා කටයුතුවලට ලක් නොවී පැවැති බවට මතයක් ඇති වී තිබේ. එසේ ම මෙම මාදිලියේ හෙලිකොප්ටර යානා භාවිතයට පැමිණ තිබෙන්නේ ද වසර පනහකට හෝ හැටකට හෝ ඉහතදී ය. ඒ අනුව රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනාරක්ෂිත මට්ටමක තිබුණු බව ද පැහැදිලි ය.

"... පසුගිය දා සිදු වූ ඛේදවාචකයේ ප්‍රධාන වැරදිකරු වන්නේ එක්සත් ජනපදය. එයට හේතුව ඉරානයට ගුවන් යානා සහ ගුවන් යානා කොටස් විකිණීම තහනම් කර ඉරානයේ ජනතාවට හොඳ ගුවන් පහසුකම් භුක්ති විඳීමට ඉඩ නොදීමයි. ..." යනුවෙන් ඉරානයේ හිටපු විදේශ අමාත්‍ය මොහොම්මඩ් ජාවඩ් සරීෆ් පවසා තිබිණ.

තම රටේ ජනාධිපතිවරයාගේ මරණය ගැන දැනගත් අවස්ථාවේදී ඉරානයේ ජනතාව වීදී බැස සිය සොව පළකරන්නට පටන් ගත්හ. අධ්‍යාත්මික නායක අයතොල්ලාහ් අලි කොමේනි පස් දින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරානයේ වෙසෙන බහුතර ජනයා මේ අන්දමට ශෝක වූවත් රයිසිගේ මරණය අසා සතුටු වන සුළුතරයක් ද වෙති. ඔවුන් සතුටු වන්නේ රයිසිගේ කෘෘර සහ ම්ලේච්ඡ පාලනයෙන් ඉරානය මිදුණේය යන සැනසීම ඇතිව ය.

රයිසි ඉරානයේ ජනාධිපතිවරයා වන්නේ 2021 වසරේදී ය. ඔහුට ජනාධිපති ධුරයට පත්වන්නට අයතොල්ලාහ් අලි කොමේනිගේ ආශිර්වාදය ඕනෑවටත් වඩා ලැබී තිබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු, ජනාධිපතිවරණයට තරග වදින මධ්‍යස්‌ථ අපේක්ෂකයන් හේතුවක් නොමැතිව ම එම සටනෙන් ඉවත් කළේ ය. රටේ ඡන්දදායකයන්ගෙන් සැලකිය යුතු තරමේ පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස රයිසි ඉදිරිපත් වනවාට පවා සමහර ඡන්දදායකයෝ විරෝධය පළ කළහ. එයට හේතුව රයිසි ඉතා ම්ලේච්ඡ මිනිසකු බව බොහෝදෙනකු අත්දැකීමෙන් ම දැනසිටීමයි. රයිසි ම්ලේච්ඡ නායකයකු බවට පත් වූයේ නීතිය ද ඉස්සර කරගෙන බලය හඹා යමිනි.

රයිසිගේ ම්ලේච්ඡත්වය මතු වූයේ ආගමික ප්‍රධානීන් ඔහුව අධිකරණයේ විශ්වාසවන්ත චරිතයක් බව ප්‍රකාශ කරමින් ඔහුට දේශපාලන සිරකරුවන් සම්බන්ධ නඩු විසඳීමේ භාරධුර වගකීම පැවරීමත් සමග ය. එකල රයිසිගේ වයස අවුරුදු විසි අටක් පමණ විණ. උක්ත කාර්යය සඳහා ඔහු ද ඇතුළත්ව විනිසුරුවරුන් හතරදෙනකු පත් කරන ලදී. 1988 වසරේදී දේශපාලන සිරකරුවෝ දහස් ගණනක් ඉරාන සිරගෙවල්වල දුක් විඳිමින් සිටියහ. එයින් බහුතරයක් වාමාංශික දේශපාලන ප්‍රවාහවල සාමාජිකයෝ වූහ. ඔවුන් සම්බන්ධයෙන් වන නඩු අසා නිම කෙරුණේ දහස් සංඛ්‍යාත සිරකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරමිනි. එනිසා සිව් පුද්ගල කමිටුව පසු කලෙක හැඳින්වුණේ "මරණ කමිටුව" යනුවෙනි. දහස් සංඛ්‍යාත සිරකරුවන් නිර්දය ලෙස මරාදමනු ලැබිණ. එපමණක් නොව ඔවුන් කවර තැනෙක වළලා දැමුවේ ද යන්නවත් ඔවුන්ගේ ඥාතීන්ට අනාවරණය නොකරන ලදී. මරා දමන ලද දේශපාලන සිරකරුවන් සංඛ්‍යාව කෙතෙක්දැයි ගණන් නැත. මානව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන සංවිධාන පවසන්නේ දළ වශයෙන් පන්දහසක පිරිසක්වත් එසේ මරා දමන්නට ඇත කියාය. ඔවුන් වධ හිංසනයන්ට ලක්ව අවසන් ගමන් ගියේ රයිසිගේ අමානුෂික විනිශ්චයන් නිසා බවට සැකයක් නැත. එවක අධ්‍යාත්මික නායක රුහොල්ලාහ් කොමේනිගේ විශ්වාසය දිනා ගැනීමට එමගින් රයිසිට ඉඩ ලැබිණ. මේ කාලයේදී ඉරානයේ ජනාධිපති වශයෙන් කටයුතු කළේ අද එරට අධ්‍යාත්මික නායකයා වශයෙන් කටයුතු කරන අයතොල්ලාහ් අලි කොමේනි ය. අයතොල්ලාහ් අලි කොමේනිට, රයිසි කෙරෙහි පැහැදීම වැඩි වන්නට මෙම රයිසිගේ ක්‍රියාකාරීත්වය හේතු විණ. "ටෙහ්රානයේ මස් වැද්දා" යන නමින් එතැන් සිට රයිසි ලෝ පුරා ප්‍රකට වන්නට පටන් ගත්තේ ය.

1989 වසරේදී අධ්‍යාත්මික නායක රුහොල්ලාහ් කොමේනි ජීවිතක්ෂයට පත් විය. ඒ වනවිට ජනාධිපති ධුරයේ කටයුතු කළ අයතොල්ලාහ් අලි කොමේනි, ඒ සමග ම ඉරානයේ අධ්‍යාත්මික නායකයා ලෙස පත් වූයේ ය. අයතොල්ලාහ් අලි කොමේනි, ඊබ්‍රහිම් රයිසි නැමැති තරුණයාව රටේ ජනාධිපති ධුරය දක්වා රැගෙන ඒම එතැන් පටන් ඇරඹුවේ බොහෝ බලාපොරොත්තු ඇතිව ය. සාධාරණ නොවූ ජනාධිපතිවරණයකින් රියිසි ජය ලබමින් එය මල්ඵල ගැන්විණ.

කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් සහ හැසිරීම සීමා කෙරෙන ඉරානයේ 'හිජාබ් සහ නිර්මල නීතිය' දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට 2022දී රයිසි නියෝග කළේ ය. 2022 වසරේදී ඉරානයේ සදාචාර පොලිසිය භාරයට පත් විසි දෙහැවිරිදි මහ්සා අමිනි නම් තරුණිය මියගියේ ද මෙකී නීතිය හේතුවෙනි. මහ්සා අත්අඩංගුවට ගෙන තිබුණේ නුසුදුසු හිජාබයක් පැලඳීම යන වරදට බව සඳහන් වේ. මහ්සාගේ මරණය නිසා ඉරාන ජනතාව මහත් නොසන්සුන්තාවකට පත් වූහ. සිය ගණනක් ඉන් ද ජීවිතක්ෂයට පත් වූහ. එහෙත් රියිසි ඒ නොසන්සුන්තාව තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත.

කැරලිකරුවන්ගෙන් සමන්විත හමාස්, හූති, හෙස්බුල්ලාහ් වැනි සංවිධානවලට පසුපස සිට ශක්ති ලබා දෙන්නේ ඉරානයයි. රයිසි ද සිය පාලන කාලයේදී ඒ කාර්යය අකුරට ම සිදු කළේ ය. ඔහුගේ මරණය අසා ශෝකයට පත්වන්නන් අතර එම සංවිධානවල සාමාජිකයෝ ද වෙති. ඒ හැරුණු විට රයිසි, රුසියා ජනාධිපති ව්ලැද්මියර් පුටින්ගේ සමීපත ම මිත්‍රයෙකි. යුක්‍රේනයට එරෙහිව යුද වදින රුසියාවට, ඉරානය අවි ලබා දෙමින් ආධාර කළේ ය. තම මිත්‍රත්වය තහවුරු කරමින් රයිසි, පුටින් සමග බෙහෙවින් සමීප සබඳතාවක් පවත්වාගෙන ගියේ ය. රයිසි ගුවන් අනතුරකට ලක් වූ බව දැනගත් වහාම පුටින් කඳුකර මෙහෙයුම් විශේෂඥයන් පනස්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද ඉරානයට එව්වේ ය.

ලොව රාජ්‍ය නායකයෝ විශාල සංඛ්‍යාවක් ඊබ්‍රහිම් රයිසිගේ හදිසි මරණය වෙනුවෙන් ශෝකය පළ කරති. ඒ අතර ඉන්දියාව, පාකිස්තානය, සිරියාව, චීනය, රුසියාව සහ ඉරාකය ආදී රටවල් ගණනාවක් තිබේ. "රයිසි විශිෂ්ට දේශපාලඥයෙක් වූ අතර ඔහු මුළු මහත් ජීවිතය ම තම මව්බිමට සේවය කිරීමට කැප කළේ ය." යනුවෙන් සඳහන් කර රුසියා ජනාධිපතිවරයා සිය ශෝක පණිවුඩය අයතොල්ලාහ් අලි කොමේනිට එවා ඇත.
(මංජුලා විජයරත්න)