රුසියානු - යුක්රේන යුද්ධය සඳහා “නිත්‍යානුකූල නොවන ආකාරයට” බඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 16 දෙනකු මියගොස් ඇති බවට තොරතුරු වාර්තාවී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය. යුද්ධයට එක්වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පැමිණිලි 288 ක් ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය. ජාවාරම්කරුවන් යුද්ධය සඳහා රැගෙන ගිය පිරිස් සම්බන්ධ කරගෙන තිබෙන්නේ ෆේස්බුක් මගින් බවත්,
පවුල්වල සාමාජිකයන්ට රුසියානු පුරවැසිභාවය සහ රුසියාවෙන් නිවෙසක් දෙන්නේ යැයි පොරොන්දු ලබා දී ඔවුන් එසේ බඳවාගෙන තිබූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඒ වගේම මසකට රුපියල් ලක්ෂ හතකට වැඩි වැටුපක් දෙන බවට ද ජාවාරම්කරුවන් පොරොන්දු දී ඇතැයි තෙන්නකෝන් මහතා පැවැසීය. මෙවැනි ෆේස්බුක් දැන්වීම් ගණනාවක් තමාට ලැබී ඇති බවත්, යුද්ධයට සම්බන්ධ කරගත් ශ්‍රී ලාංකිකයන්ට ගිවිසුම් ලබාදී තිබෙන්නේ රුසියානු භාෂාවෙන් බවත් හෙතෙම පැවැසුවේය.
ඔහු මෙසේ පැවැසුවේ කොළඹදී ඊයේ (15) පැවැති ප්රවෘත්ති සකච්ඡාවකදීය.මේ අතර රුසියානු යුක්රේන යුද්ධයකට සම්බන්ධ වී කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අදහස් පළ කරන ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ,
යුද පෙරමුණේ කුලී හේවායන් ලෙස කටයුතු කරන රණවිරුවන්ගේ ලැයිස්තුව දෙන ලෙස තමා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා හමුවී ඉල්ලීමක් කළ බවයි.
ඒ වගේම එහිදී මියගිය අය පිළිබඳ සම්පූර්ණ තොරතුරු වාර්තාවක් දෙන ලෙසට ද තමා ඉල්ලීම් කළ බව ඔහු සඳහන් කළේය.එවිට ඒ තොරතුරු රණවිරුවන්ගේ පවුල්වලට දැනුම් දිය හැකි බවත්, රණවිරුවන් පිරිසක් එරට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ යැයි දැනගන්න ලැබී ඇති බවත් ඔහු පැවැසුවේය.තුවාල ලබා සිටින රණවිරුවන් ලංකාවට ගෙනවිත් දෙන්නැයි තමා තානාපතිවරයාගෙන් ඉල්ලීම් කළ බව පැවැසූ ආරක්ෂක ලේකම්වරයා, ඒ අය හමුදා රෝහලට ඇතුළත් කර ඉහළම ප්‍රතිකාර ලබාදී ඔවුන් සුවපත් කළ හැකි බව ද සඳහන් කළේය.
මියගිය රණවිරුවන් ආදාහනය කර ඇත්නම් අළු හෝ ලබා දීමට මැදිහත් වන්නැයි ඉල්ලා සිටි බව පැවැසූ කමල් ගුණරත්න මහතා, එම තොරතුරු ලබාදීමට රුසියානු තානාපතිවරයා එහිදී එකඟවූ බව ද ප්‍රකාශ කළේය. රුසියාවේ යුද්ධයට සම්බන්ධවී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු නොදුන් අය සිටී නම් ඒ පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයට හැකි ඉක්මනින් ලබා දෙන්නැයි ඔහු ඉල්ලීමක් කළේය. “අපි බලන්නේ හැමෝම ගෙන්වාගන්න" යැයි ද ඔහු සඳහන් කළේය.
(සුජිත් හේවාජුලිගේ)
0 Comments