shah-rukh-khan-hospitalized

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් බදාදා ඉන්දියා‍වේ අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ විජලනය සහ ආඝාත තත්වයක් හේතුවෙනි. 

අඟහරුවාදා කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) එදිරිව සන්රයිසස් හයිද්‍රාබාද් (SRH) හි IPL තරඟය අතරතුර නළුවාට උණුසුම් ආඝාතයක් වැළඳීමෙන් පසු KD රෝහලට ගෙන යන ලද බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ෂාරුක්  IPL හි  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ජුහී චව්ලා සමග සම හිමිකාරත්වය දරන අතර මේ නිසා ඔහු එදින තරගය නැරඹීමට පැමිණ තිබුණි.
සුපිරි තරුව බැලීමට  බිරිඳ ගෞරි ඛාන් සහ මිතුරිය ජුහි චව්ලා රෝහල වෙත ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
"ඊයේ රාත්‍රියේ ෂාරුක්ට එතරම් හොඳමට්ටමක් තිබුනෙ නැහැ. ප්‍රතිකාර ලැබුවා. අද සවස් වන විට ඔහුට හොඳක් දැනෙනු ඇතැයි සිතෙනවා. දෙවියන්ගේ පිහිටෙන්, ඔහු ඉක්මනින්ම නැඟිට, සති අන්තයේ නැවත පැමිණ, අපේ කණ්ඩායම අවසන් මහා තරගයට ක්‍රීඩා කරන විට එක්වී ප්‍රීති වනු ඇත."
ජුහී චව්ලා මාධ්‍ය වෙත අදහස් දක්වා පවසා තිබේ.


වෛද්‍යවරුන් පවසන්නේ එදින තරගය පැවති ස්ථානය අධික උෂ්ණත්වයෙන් යුතුවීම නිසා ඔහු රෝගී වන්නට ඇති බවයි.
"නළුවා අහමදාබාද්හි සෙල්සියස් අංශක 45 ක අධික උෂ්ණත්වයක් මධ්‍යයේ විජලනය වීමෙන් පීඩා විඳින බවක් හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ සෞඛ්‍යය ස්ථාවර වුවද ඔහු වෛද්‍ය නිරීක්ෂණ යටතේ සිටිනවා. රෝහල අවට ආරක්ෂාව තර කර තිබෙනවා," රෝහල් බලධාරීන් ප්‍රවෘත්ති ආයතන වලට දන්වා ඇත.

රෝගී වීමට ටික වේලාවකට පෙර ෂාරුක් ක්‍රිකට් බලන්නට රෝද පුටුවෙන් පැමිණි නරඹන්නෙකු හා සාමීචියේ යෙදෙන අවස්ථාවක ඡායාරූපයක්ද අන්තර්ජාලය තුළ සැරිසරයි.