sisu-seriya-bus-issue

ලක්ෂ 45 වන පාසල් ළමයින්ගෙන් ලක්ෂ 40පමණ පොදු ' ප්‍රවාහන සේවය භාවිත කරන බවත්, එම පොදු ප්‍රවාහන සේවය වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කුලී පදනම මත අරගෙන පෞද්ගලික බස් රථ ගෙන 'සිසුසැරිය’ බස් රථ සේවය සඳහා යොදවන බවත්, ඇතැම් බස් රථ වර්තමානයේ සියලු අපචාර ක්‍රියාකාරකම් සිදුවන ‛හෝටල් කාමර’ තත්ත්වයට පත්ව ඇති බවත් මෙහිදී අනාවරණය වූ බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.



පාසල් ළමයින් ප්‍රවාහවයට යොදා ගනු ලබන වාහනවල ප්‍රමිතිය ඉහළ නැංවීම, රියදුරන්ගේ වෘත්තීයම ගැටලු හා ගාස්තු නියාමනය, පාසල් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හඳුන්වාදිය හැකි නව ප්‍රතිපත්ති ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිර්ම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ඇතුළු ආයත රැසක සහභාගිත්වයෙන් පැවති කමිටු රැස්වීමේදී මේ බව අනාවරණය වී තිබේ.  ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පාසල් වෑන් එකක්  නම් පෞද්ගලිකව ධාවනය කරනවා නම් ඒකේ රියදුරු වාහනේ අයිතිකරු, ඔහුගේ සිසු සැරිය බිරිඳ  තමයි වාහනේ සහායක විදියට ඉන්නේ. ඒත් සුවසැරිය කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේකේ ගිවිසුම්ගත වෙලා බස් රථ 10,000ක් පමණ සේවයේ යොදවලා තියෙනවා. අවුරුද්දකට ගෙවනවාලු රුපියල් බිලියන 2ක්. මත්පැන්, මත්ද්‍රව්‍ය ආදිය පාවිච්චි කිරීමට ඉඩ ලබා දීම,

ගැහැණු ළමයින්ට පිරිමි ළමයින් සමග එකට එක්ව කැමති ආකාරයෙන් ගමන් කිරීමට ඉඩ ලබා දීම, ඇඳුම් මාරු කිරීමට ලබා දීම වැනි පහසුකම් මේ ඇතැම් බස් රථවල ලබා දෙනවා. ඇත්තටම මේ සිසු සැරිය බස්රථ සේවය දැන් හෝටල් කාමරයක් බවට පත්වෙලා තියෙන්නේ. මේ බස් රථවල වැඩිහිටි ළමයින් යනවා. පොඩි ළමයි බොහෝ දුරට ගමන්  ගන්නේ පො‍්ඩි පාසල් බස්රථ හෝ පාසල් වෑන් රථවල.

සී.ටී.බී බස් රථ ගත්තම රියදුරු මහතෙක් සහ කොන්දොස්තර මහතෙක් ඉන්නවා. ඊට අමතරව ගුරුවරුත් යනවා, සිසුසැරිය කියන බස් රථවල ගුරුවරු යන්නෙත් නෑ, වෙනත් වැඩිහිටියෝ යන්නෙත් නෑ, බොහෝ විට මෙම බස්රථ සඳහා අයිතිකාරයා රියදුරෙක් පමණක් යොදවලා තියෙනවා. මේකෙන් විශාල ආදායමක් ලැබෙනවා. ඒ අනුව ඒ බස් රථය ධාවනය කරන රියදුරු තමයි මේ සියල්ල පාලනය කරන්නේ. ඒ අනුව ඔවුන් මේක වෙන ආදායම් උත්පාදනය කරන තැනක් බවට පත් කරගෙන. ඒ අනුව මේ අපචාර වැඩ කිරීම සඳහා ඔවුන් අවසර දෙනවා. මේකෙදි පාසල් නොයා ඉන්න, පන්ති නොයා ඉන්න, අපචාර ක්‍රියා කරන්න පහසුකම් මේ පුද්ගලයන් සපුරලා දෙනවා. ඒ අනුව සිසුසැරිය පුද්ගලික බස් රථ ළමා පරපුර අපචාරයට යොමු කරන ප්‍රභවයක් බවට පත්වෙලා.”

දිනේෂ් සමරකෝන්