sri-lankan-russian-ukrain-army

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැදී සිටියේය. එසේ සිටියදී දිනෙක හොර රහසේ පලා ඇවිත් කිලෝමීටර් 1,800 දුරක් ගෙවා මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සොයාගෙන ඔහු පැමිණියේය. ඒ බිහිසුණු ත්‍රාසජනක ගමන ගැන නිශ්ශංක පින්තු මහතා තොරතුරු හෙළි කළේය.

නිශ්ශංක මහතාට මොස්කව් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණීමට දින දෙකහමාරක කාලයක් ගතවී තිබුණි. ඒ කාලය පුරාවට ඔහු කුසගින්න නිවාගෙන ඇත්තේ වතුර පමණක් පානය කිරීමෙනි.නිශ්ශංකට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණීමට මග පාදා දුන්නේ ඔහු සමග ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් කළ පසුව බොහෝ කුළුපග වූ රුසියන් ජාතික හමුදා සෙබළෙකි. යුද්ධයේ දී පසුව වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ මේ රුසියන් ජාතික මිතුරු සෙබළා ඔහු සතුව තිබූ සිම්පතක් නිශ්ශංකට ලබා දී ඇත්තේ එම සිම්පත හරහා ලොකේෂන් බලාගෙන මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පිහිටි ඉසව්ව සොයා ගන්නා ලෙස පවසමින්ය.

නිශ්ශංක ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ රාජකාරි කර තිබෙන නිර්භීත හිටපු සෙබළෙකි. වන්නි මානුෂීය මෙහෙයුමේ ආරම්භයේ සිට අවසානය දක්වා ඉදිරිපෙළ සටන්කරුවකු ලෙස පෙන්වූ දක්ෂතා නිසා නිශ්ශංක මහතා රණශූර පදක්කම ඇතුළු පදක්කම් ගණනාවක් හිමි කරගෙන තිබේ.

යුද හමුදා විශේෂ බළකායේ ඔහු ශාරික අභ්‍යාස උපදේශකවරයකු ලෙසද කටයුතු කර ඇත.රුසියාවට ගිය ආකාරය, රුසියා යුද බිමේ ලැබූ අත්දැකීම් සහ යුද බිමෙන් පලා ආ ආකාරය ගැන තොරතුරු දැන ගැනීමට පෙරේදා (15) රාත්‍රියේ කුලියාපිටිය, උඩුබද්දාව ප්‍රදේශයේ පිහිටි ඔහු ගේ නිවසට ගියෙමු.හෝරා කිහිපයක් ඔහු සමග කතාබහේදී නිශ්ශංක මහතා මෙසේ කීය.


“මගේ වයස අවුරුදු තිස්තුනක් වෙනවා. මට අවුරුදු තුන හමාරක ගැහැනු දරුවෙක් ඉන්නවා. යුද හමුදාවේ වසර දොළහක සේවයෙන් පසු සේවයෙන් ඉවත් වූවා. මේ කාලය තුළ වැඩි හරියක් හිටියේ යුද බිමේ.ආර්ථික ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණු නිසා මේ රටේ ජීවත්වීම ලොකු අභියෝගයක් වුණා. කුමක් හෝ රැකියාවක් සොයාගෙන රට යන්න තීරණය කළා. ඔහොම ඉන්න අතරවාරේ රුසියානු යුද හමුදාවට සෙබළුන් බඳවා ගන්නා බවට හමුදාවේ හිටිය මිතුරන් කිහිප දෙනකුගෙන් දැනගැනීමට ලැබුණා . ඒ අනුව රුසියානු තානාපති කාර්යාලය ආසන්නයේ පිහිටි විදේශීය රැකියා ඒජන්සියකින් රුසියාවට යන්න තීරණය කළා.. ඒ ඒජන්සියේ ඉන්න සිංහල කෙනෙක්(ඔහු ගේ නම කියයි) ඒජන්තවරයා වශයෙන් කටයුතු කරනවා.

ලංකාවේ මුදලින් මාසෙකට ලක්ෂ හතක් දෙන බවත් කුමන හේතුවක් නිසා හෝ යුද බිමේදී මියගියහොත් රුපියල් කෝටි දොළහක් පවුලේ අයට ලබාදෙන බවත් ඔහු පැවසුවා. ඒ විතරක් නෙමේ තවත් වරප්‍රසාද ගොඩක් ලබාදෙන බව කිව්වා. මාස හයකින් රුසියාවේ පුරවැසිකම ලබාදෙන බවත් මාත් එක්ක පැවසුවා. රුසියාවට ගිහින් යුද හමුදාවට බැඳුණට පස්සේ මාස හයකින් එරට පුරවැසිකම ලබාදෙන බවත් එරට ගුවන් තොටුපොළට ඇතුළු වූ වහාම එම රටේ පාස්පෝර්ට් එක හිමිවන බවත් තමන්ගේ බිරිඳ, දුව ඇතුළු පවුලේ අයට ද ඩ්රරටට පැමිණ ජීවත්වීමේ හැකියාව ලැබෙන බවත් මාත් එක්ක කිව්වා. මේ වගේ ලොකු වරප්‍රසාද ලැබෙනවා කිව්වහම කවුද රුසියානු හමුදාවට බැදෙන්න යන්න අකැමැති.

රුසියාවට යන්න ලක්ෂ හතක මුදලක් එම ඒජන්සියෙන් ඉල්ලුවා. එරටට ගියාම ඒ රටේ නියෝජිතයන්ට දෙන්න තවත් ලක්ෂ දෙකක් අවශ්‍ය වන බව පැවසුවා. ළඟ සල්ලි නොතිබූ නිසා මට අයිති ගමේ තිබෙන පර්චස් විසි ගණනක එකම ඉඩම උකස් කරලා මේ සඳහා සල්ලි සොයා ගත්තා.මාසෙක Visit වීසාවලින් රුසියාවට ගියා. මගේත් එක්ක දහ අට දෙනෙක් ගියා. ඉඩම් ගෙවල් දොරවල් උකස් කරලා තමයි. මේ අයත් රුසියාවට යන්න සල්ලි සොයාගෙන තිබෙන්නේ.රුසියාවට ගිය පසු සිදුවූ දේවල් ගැන නිශ්ශංක මහතා තොරතුරු හෙළි කළේ මේ අන්දමිනි. රුසියාවේ තියෙන සුපිරි හෝටලයකට අපිව එක්කගෙන ගියා. හොදට කන්න බොන්න දුන්නා. උපරිම විදිහට සැලකුවා. පසුව අපි පුහුණු කඳවුරකට රැගෙන ගියා.

ඒ කඳවුරේ ලංකාවෙන් ගිය දෙසීයක් විතර හිටියා. සමහරදාට බාර්ලි තමා උයලා කන්න දුන්නේ.

හරි හමන් කෑමක් බීමක් ලැබුණේ නැහැ. අවම පහසුකම් තිබුණේ. අපි ඒ කඳවුරේ පුහුණුවීම් ලැබුවා. ඉන්දියානු ජාතිකයන් කළු ජාතිකයන්ද අපිත් එක්ක හිටියා. කඳවුරේ අණ දෙන නිලධාරියා රුසියන් ජාතිකයෙක්.අපි එක්ක ගෙන ඇවිත් තියෙන්නේ රුසියානු හමුදාවට බඳවාගන්න නොවන බවත් කුලී හේවායන් ලෙස කටයුතු කිරීමට බවත් තේරුම් ගත්තා.අපිට මුදල් නොලැබීම ගැන විමසුවාම කඳවුරේ පෝලිම් කරලා සමහර රුසියන් සෙබළුන් පිස්තෝල වලින් අපේ කකුල් අසලටම වෙඩි තිබ්බා. අපි ලෝකයේ තිබුණ දරුණුතම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් පරාජය කරලා විජයග්‍රහණය කිරීමට දායක වුණු සෙබළුන්. උන් අපේ කකුල් දෙක ළඟට වෙඩි තිබා යැයි කියා කිසිසේත් බය වුණේ හෝ සැලුණේ නැහැ, කඳවුරේ පුහුණුවීම් ලබමින් සිටින අතරවාරයේ ගාල්ලේ ඉන්න මගේ ඥාති සහෝදරයෙක් ඉදිරි ආරක්ෂක වළල්ලේ දී මියගිය බවත් දැන. ගැනීමට ලැබුණා. ඒ බොඩියවත් තවම ලැබුණේ නැහැ.පුහුණුවීම්වලින් පස්සේ අපිව යුක්රේනයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් බිමට යැව්වා. වැඩියෙන්ම එල්ල වුණේ ඩ්‍රෝන යානා ප්‍රහාර තමා. සටන් බිමේදී අපේ අය ඇතුළු සෙබළුන්ට තුවාල වුණා. පසුව සමහරු මියගිය බවත් දැනගැනීමට ලැබුණා. ලංකාවේ ආරක්ෂක අංශවල රාජකාරි කළ දහසකට ආසන්න පිරිසක් රුසියා යුද බිමේ සේවය කරන බව මට එහිදී දැනගැනීමට ද ලැබුණා.

මාස එක හමාරක විතර කාලයක් අපි දිවා රෑ දෙකේ බංකර් වල රැඳී සිටිමින් සටන් කළා. අපි ගැන එච්චර සොයා බැලුවේ නැහැ. කන්න බොන්න ටිකවත් හර්යට ලැබුණේ නැහැ. කිසිම මුදලක් ලැබුණේත් නැහැ. මහා වංචාවකට අසූවී ඇති බව තේරුම් ගියා. අපි මැරෙන්න. බය නැහැ. අපි බය කියන එක හඳුනන්නේ නැති සෙබළු. සටන් බිමෙන් පලා යන්න තීරණය කළා. අපිත් එක්ක සටන් කළ ඉන්දියානු ජාතික සොල්දාදුවෙක් හරීම කලකිරීමකින් හිටියේ. සටන් බිමෙන් පලා යමු කියා ඔහුට මම යෝජනා කළා. පැනලා යද්දි අහු වුණොත් වෙඩි තියලා මරා දමයි කියලා ඔහු ඊට කැමති වුණේ නැහැ. ඇත්තෙන්ම කියනවා නම් පැනලා යද්දි අහු වුණොත් වෙඩි තියලා මරා දමන බව මම තේරුම් අරගෙන හිටියේ, මැරුණත් කමන් නෑ කොහොම හරි පැනගන්නවා කියලා දැඩි ලෙස අධිෂ්ඨානය කරගත්තා.

කාටවත් නොකියා දවසක් ගිනි අවි හංගලා යුනිෆෝම් එක පිටින්ම ඉදිරි ආරක්ෂක වළල්ලෙන් කාටත් හොරා පැනගත්තා, මම පැනගන්න කලින් දවසක රුසියානු ජාතික යුද හමුදා සෙබළෙකුට වෙඩි වැදී තුවාල ලැබුවා. සිම් එකක් මට දුන්නා. ඒ සිම් එක දීලා ඔහු කිව්වා මේකෙන් ගමන් මාර්ගය හොයාගෙන මෙතනින් පලායන්න නැත්නම් නිරපරාදේ මැරිලා යයි කියලා.

මම ඒ සිම් එක මගේ ජංගම දුරකථනයට දමාගෙන මොස්කව් හි පිහිටි අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තියෙන ඉසව්ව හොයාගෙන යෑමේ අතිදුෂ්කර ගමන ආරම්භ කළා. මේ ගමනේදී වින්ද දුක් කරදර පීඩා ගැන කියන්න මට වචන නැහැ. දවස් දෙකහමාරකට විතර පස්සේ මොස්කව් නගරයට සේන්දු වුණා. එතන ඉඳලා සංචාරකයෙක් විදිහට රඟපෑමක යෙදිලා මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ආවා.

ජංගම දුරකථනයෙන් ගූගල් මැප් එක සර්ච් කරලා බැලුවාම මම කිලෝමීටර් 1800 දුරක් ගෙවාගෙන පැමිණ තිබෙන බව දැන ගත්තා. රුසියානු තානාපති කාර්යාලයට ආවාට පස්සේ මට නූල්ඩ්ස් හදලා කන්න දුන්නා. එදාම රෑ මාව ලංකාවට එව්වා. ඊට පස්සේ රහස් පොලිසියට ගිහින් කට උත්තරයක්ද ලබාදී ගෙදර පැමිණියා. මම ලංකාවට ආපු බව ගෙදර අය දැනගත්තෙත් රූපවාහිනී ප්‍රවෘත්තිවලින්. සටන් බිමේ ඉඳලා නිරුපද්‍රිතව ලංකාවට ආපු එක ගැන අදටත් මට හිතාගන්න බැහැ. එක හීනයක් වගේ.

කෝටි ගණනින් මුදල්, විවිධ වරප්‍රසාද අපේක්ෂාවෙන් රුසියාවට ගිය ඔහු මෙරටට ආවේ අතේ සත පහක්වත් නොමැතිවය.නිශ්ශංක මහතා සමග අප පිළිසඳරේ යෙදී සිටියදී යුක්‍රේන් සටන් බිමේ සිටි ශ්‍රී ලාංකික සෙබලෙකු ඔහු ගේ ජංගම දුරකථනයට කතා කර ඔහුට කිව්වේ තමාට වෙඩි වැදී රෝහලකට රැගෙන ආ ආ බව ය.රුසියාවට යාමට උකස් කළ ඔහුට අයත් එකම ඉඩම බේරා ගැනීමට නොහැකි නිසා ඉඩම විකුණා ලැබෙන මුදලින් ඉඩම උකස් ගත් අයට මුදල් ගෙවා දැමීම සඳහා නිශ්ශංක මහතා ඉඩම විකුණන බව සඳහන් කරමින් බැනරයක්ද එම ඉඩමේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ලැබිණි.

“මට අරමුණු දෙකක් තිබෙනවා. එක අරමුණක් තමා රුසියාවේ යුද බිමේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාම නිරුපද්‍රිතව මෙරටට ගෙන්වා ගැනීම. අනෙක් අරමුණ තමා එරට හමුදාවට බැඳෙන්න යෑම වළක්වා ගැනීම. කිසිම කෙනෙක් මේ වංචාකරුවන්ට හසුවෙන්න එපා කියා අවධාරණය කරන්නේ” යැයි ඔහු අවසන් වශයෙන් පැවසීය.


සටහන- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය