යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය, ද්වේශ සහගත හා අපහාසාත්මක වීඩියෝ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම, බෙදා හැම වළකාලමින් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිකයකුට හා යූ ටියුබ් නාලිකාවකට කොන්දේසි සහිත තහනම් ආඥාවක් නිකුත් කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දැනට උඩුගත කර ඇති අපහාසාත්මක හා ද්වේශ සහගත තහනම් ප්‍රකාශ වහාම ඉවත් කර ගැනීමටද සැකකරුවන්ට ඊයේ (15දා) නියෝග කළේය.



යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පෞද්ගලිකව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව ලංකා වී නිවුස් වෙබ් (Lanka V News) අඩවියට සහ මිනුවන්ගොඩ පදිංචි විතාරණගේ තුෂාර සාලිය රණවක හා ඔහු ක්‍රියාත්මක කරන සමාජ ජාලා තුනකට මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා මෙම තහනම් ආඥාව පිළිබඳව ඇමරිකාවේ යූටියුබ් ආයතනය සහ ගූගල් සමාගමද දැනුවත් කරමින් නොතීසි නිකුත් කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිටියේය. නීතිඥ මොහොමඩ් ෆර්ෂාන් මහතා මාර්ගයෙන් යුද හමුදාපතිවරයා පෞද්ගලිකව පවරා ඇති මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශිරාෂ් නූර්දීන් මහතා කරුණු දක්වමින් මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටින වගඋත්තරකරු

පසුගිය මාර්තු මාසයේ සිට දිගින් දිගටම පැමිණිලිකාර යුද හමුදාපතිවරයාට විරුද්ධව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ අන්තර්ජාලයට සහ මුහුණුපොතට මුදාහර්මින් සිටින්නේ යැයි කීය.

මෙම අසත්‍ය ප්‍රකාශ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට,රජයට හෝ මහජනතාවට විරුද්ධව කැරලි ගැසීමේ තත්ත්වයක් ඇතිකරවනසුලු බවත්, මහජනතාව තුළ යම් කැලඹීමක් ඇති කිරීමේ ප්‍රකාශ ද ඊට ඇතුළත් වන බවත්, මෙවැනි අසත්‍ය ප්‍රචාර මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ (සමාජ මාධ්‍ය පනත යටතේ) 19වැනි වගන්තිය අනුව තහනම් බවත් කී නීතිඥ ශිරාෂ් නූර්දීන් මහතා තහනම් ප්‍රකාශනවලට ගැනෙන අදාළ ප්‍රකාශය තවදුරටත් ප්‍රචාරය කිරීම සහ උඩුගත කිරීම වළක්වාලමින් කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.  යුද හමුදාපති විකුම් ලියනගේ මහතා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමේ සඳහන් කරුණු මෙන්ම නීතීඥවරයා දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළේය. මෙම නඩුවේ. වගඋත්තරකරුවන්ට ලබන 29වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මහේස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

  බුද්ධිමාල් රුබේරු