කුළුඳුල් දරුවා ඉපදුන පසු තමන්ට නොපෙන්වා මියගිය බවට කොටවිල දිස්ත්‍රික් රෝහලේ බලධාරීන් පැවැසීම බරපතළ සැකයක් බව පවසමින් එම දරුවාගේ මවුපියෝ කොටවිල පොලිසියට ඊයේ (26) පැමිණිල්ලක් කළහ. දරුවා ඇත්තටම මියගියාද එසේ නැත්නම් කාට හෝ විකුණුවාද යන්න තමන් ස්ථිරවම දැනගත යුතු බව එම දෙදෙනා ප්‍රකාශ කරති.දරුවා මියගිය බව රෝහල් බලධාරීන් පැවැසීම කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුවේ 23 හැවිරිදි මව හඬා වැලපෙමින් පවසන්නීය.තමා දරුවා ඉකුත් 24 වැනිදා අලුයම 2.40ට පමණ බිහිකළ බවත් පසුවදා අලුයම දරුවා මියගියේ යැයි රෝහල් බලධාරීන් පැවැසූ බවත් ඇය කියන්නීය. රෝහල් බලධාරීන් දරුවා තමාට නොපෙන්වාම වළ දැමූ බවටද ඇය චෝදනා කරන්නීය.



තමාගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන්නැයි එම තරුණ යුවළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.ඩබ්ලිව්.ඒ. කාවිද්‍යා මදුශානි (23) තරුණිය සිය කුළුඳුල් දරුවා බිහිකිරීම සඳහා පෞද්ගලික වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 22 වැනිදා රාත්‍රි 11.30ට පමණ මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් වූවාය.පසුව ප්‍රතිකාර වශයෙන් ඖෂධ දුන් බවත් 24 වැනිදා අලුයම 2.41 ට පමණ දරුවා ලැබුණු බවත් එම මවුපියෝ දෙදෙනා පවසති. නමුත් දරුවා මියගිය බවත් දරුවාගේ අවසන් කටයුතු මාතර පොදු සුසාන භූමියේ කිරීම සඳහා නගර සභාවට මුදල් ගෙවා රිසිට්පත රැගෙන එන ලෙස දන්වා ඇති බවත් දෙදෙනා ප්‍රකාශ කරති.මතක වස්ත්‍ර පූජාව සඳහා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කර තිබූ බව පවසති.



මෘත දේහය තමන්ට ලබාදෙන ලෙස දිගින් දිගටම රෝහල් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද ඔවුන් නොයෙකුත් පරස්පර අදහස් පළ කරමින් මගහරින බව ප්‍රකාශ කරති.එසේම පොලිසියෙන්ද අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදු නොවූ බව මවුපියෝ දෙදෙනා චෝදනා කරති. සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්‍ෂණයක් කර සාධාරණයක් ඉටුකර දෙන්නැයි මවුපිය යුවළ සහ පවුලේ ඥාතීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව අප රෝහල් අධ්‍යක්‍ෂ උපාලි කරුණාරත්න මහතා දුරකතතනයෙන් සම්බන්ධ කර ගැනීමට ඊයේ කිහිප විටක් උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ විය.

 තරංග ගුණරත්න