wimal-speaks

අලුතින් පිහිටුවාගත් "සර්වජන බලය" එකමුතුව ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ(30) බොරැල්ලේ පිහිටි "සර්වජන බලය" ප්‍රධාන කාර්යාලයේදී පැවති එහි ප්‍රථම නායකත්ව මණ්ඩල මාධ්‍ය හමුව අමතමින් මෙසේ සඳහන් කළේය.


"ඇත්තෙන්ම අපිවත් බලාපොරොත්තු වුණේ නැහැ 'සර්වජන බලය' එකමුතුව නිර්මාණය වූ පසුව දේශපාලන භූමියේ මේ තරම් බලසම්පන්න කැලඹීමක් ඇතිවෙයි, කියා. ඊට එරෙහිව අපේ ප්‍රතිවාදීන් එල්ල කරන වියරු ප්‍රහාරයන් සහ අපේ මිත්‍ර පාර්ශ්වයන් අපට කරන දිරිගැන්වීම්වලින් එය හොඳින්ම පැහැදිලි වෙනවා. 'සර්වජන බලය' නිර්මාණය වූයේ තිබුණු 'දේශපාලන  රික්තකයක්' පුරවන්නයි.

දක්ෂිණාංශික සහ වාමාංශික ලිබරල්වාදී දේශපාලන කඳවුරට එරෙහි මේ රටට ආදරය කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා, වැටී තිබෙන රට සැබෑ ලෙසම නඟාසිටුවිය හැකි, මේ රට කවර හෝ විදේශීය බලවේගයක ගොදුරක් බවට පත් නොකරන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය වන තෙක් බලා සිටියා. ඒ අඩුව පිරවිය හැකි දේශපාලන ව්‍යාපාරයක් මෙරට දේශපාලන භූමියේ නිර්මාණය වී තිබුණේ නැහැ. ඒ 'දේශපාලන රික්තකය' පුරවමින් තමයි 'සර්වජන බලය' නිර්මාණය වූයේ.

'සර්වජන බලය' තමන්ගේ ගමන ආරම්භ කළා පමණයි. තව මාසයක් තුළ අපේ ඉදිරි දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ රට හමුවේ තබන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපි නව දේශපාලන සංවාදයකට මුල පුරනවා. එම නව දේශපාලන සංවාදය, අද 'ඔත්පල වී ඇති අපේ රට', 'ව්‍යසනය, ජීවිතය බවට පත්කර ඇති අපේ රට', ඉන් මුදා ගැනීමට ඉවහල් වේවි,

කියා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ දේශපාලනමය සහ ආර්ථිකමය වැඩපිළිවෙළ සමඟ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනහිතකාමී සියලු ජනතාව එක් වෙයි, කියා විශ්වාසයක් අපි හමුවේ පවතිනවා. ඒ විශ්වාසය සමඟ අපි ඉදිරියටම යමින් තිබෙනවා.

අපේ එකමුතුව බිඳින්න, පලුදු කරන්න එක් එක් පාර්ශ්වයන් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. නමුත් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැහැ. සිදුවන්නේ මේ එකමුතුව තව තවත් ශක්තිමත් වන එක; තව තවත් පුළුල් වන එක. ඒ වගේම ඉදිරියේදී 'සර්වජන බලය' සමඟ මෙතෙක් එක් නොවූ දෑහිතකාමී බලවේග එක් වේවි, කියන විශ්වාසයත් අපට තිබෙනවා. සර්ව ජනතාවගේ බලයයි මේ තිබෙන්නේ; සර්ව ජනතාවගේ එකමුතුවයි මේ තිබෙන්නේ. සර්ව ජනතාවගේ නායකත්වයයි මේ තිබෙන්නේ. ඒ නිසා ’සර්වජන බලය' සමඟ කිසිදු ජාතිකත්ව හෝ ආගම් භේදයකින් තොරව අත්වැල් බැඳගන්නා ලෙස අපි මේ රටේ සියලු ජනතාවගෙන් ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා."