16-abuse-girl-court

 දහසය හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඔහුට වසර 30ක සිරදඬුවම් ඊයේ (24) නියම කළේය. මොරටුව, ලක්ෂපතිය, කන්නගර මාවතේ රජීව රවිනාත් ජයතිලක නමැති 38 හැවිරිදි අයකුට මෙසේ දඬුවම් නියම කෙරිණි.

විත්තිකරු 2021 ජනවාරි සහ මාර්තු මස අතරතුර කාලයේදී 16 හැවිරිදි දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා තුනක් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබුණි.

එම චෝදනා තුනෙන් එක් චෝදනාවකට නිදොස් කොට නිදහස් කර ඇති අතර චෝදනා දෙකකට ඔහු වරදකරු කර ඇත. එම සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් පන්දහසක දඩ මුදලක් ද නියම කළ අතර වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්,

වන්දි මුදල නොගෙවන්නේ නම් මාස දහ අටක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කර ඇත.විත්තිකරුට තවත් ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය වෙතින් නියම කළ අත්හිටවූ වසර දෙකක සිරදඬුවමක් බලාත්මක කිරීමට ද මෙහිදී නියෝග කර ඇත.සිරදඬුවම් කාලය වසර 15 බැගින් වෙන් චෙන්ව අවස්ථා දෙකක දී ගෙවීයන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.ඒ අනුව විත්තිකරු දඩ මුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් ඔහු විඳිය යුතු මුළු සිරදඬුවම් කාලය වසර 34ක් බව අධිකරණයේ දී අනාවරණය විය. විත්තිය සහ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
සුමිත් පොතුපිටිය