American-Presidents-son-is-found-guilty-in-a-criminal-case

ඇමරිකානු ජනපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩෙන් ඩෙලවෙයාර් හි ෆෙඩරල් තුවක්කු අපරාධ නඩුවේ චෝදනා තුනටම වැරදිකරු බවට තීන්දු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
2018 දී අත් තුවක්කුවක් මිලදී ගැනීමේදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පුත්‍රයා පෝරමය පුරවද්දී වැරදි තොරතුරු ඉදිරිපත් කළ බවත් ඔහු මත්ද්‍රව්‍ය භාවිතය ගැන සාවද්‍ය තොරතුරු දක්වා තිබූ බවත් හෙළි විය.
මෙවැනි වරදක් වෙනුවෙන් වසර 25ක් දක්වා සිරදඬුවම් විඳීමට මුහුණ දීමට සිදුවන බව පැවසේ. නමුත් පළමු වරට වැරදිකරුවෙකු ලෙස නම් කිරීමකදී එතරම් දීර්ඝ සිරදඬුවමක් පැනවීමට ඉඩක් නැතැයිද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමරිකානු ජනපතිගේ 54 හැවිරිදි පුත්‍රයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳ සාක්ෂි ලැබීම මත මෙම ගිනි අවි ලබාගැනීම බරපතල කාරණාවක් ලෙස සලකන ලදි. සතියක සාක්ෂිකරුවන්ගේ සාක්ෂියට සවන් දීමෙන් පසු 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව තීන්දුව ලබාදීම සිදුවිය.දඩුවම් ගැන වෙනම නඩු දිනයක සාකච්ඡා වනු ඇත.

 සාවද්‍ය ප්‍රකාශ ලබාදීමේ චෝදනා දෙකක් සහ නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම යන චෝදනාවලට ඔහු වැරදිකරු බව  තහවුරු වූ අතර එම චෝදනා තුනම හන්ටර් බයිඩන් නීතීඥයින් ප්‍රතික්ෂේප කර තිබුණි.


 මෙම ඉහළ පෙළේ නඩු විභාගය පැමිණෙන්නේ ඔහුගේ පියා නැවත මැතිවරණයකට ඉදිරිපත් වන පසුබිමක් තුළ වීම විශේෂිතය. ඇමරිකානු ඉතිහාසයේ බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ දරුවෙකු අපරාධයකට වැරදිකරු වූ පළමු අවස්ථාව මෙයයි
 ජනාධිපති බයිඩෙන් පැවසුවේ “මෙම නඩුවේ ප්‍රතිඵලය පිළිගන්නා බවත් හන්ටර් අභියාචනයක් සලකා බලනු ඇති බවත්" ය. කෙසේ වෙතත් අධිකරණ ක්‍රියාවලියට දිගටම ගරු කරන බවත් ජනපති පවසා ඇත.

හන්ටර් බයිඩෙන් යනු ඇමරිකානු ජනපති ජෝ බයිඩෙන්ගේ පළමු විවාහයේ දෙවන දරුවාය. ජෝ බයිඩෙන්ගේ පළමු බිරිය නීලියා වයස 30 දී හදිසි අනතුරකින් මියගිය අතර එම විවාහයෙන් බයිඩෙන්ට පිරිමි දෙකක් ගැහැණු එකක් ලෙස දරුවන් තිදෙනෙකු විය. ජෝ බයිඩෙන්ගේ දෙවන විවාහය ජිල් ට්‍රේසි සමග සිදුවූයේ බිරිය මියගොස් වසර 5 කට පසුවය. එම විවාහයේ එක් ගැහැණු දරුවෙකු සිටී.