The-government-and-the-opposition-are-in-a-tug-of-war-over-vehicle-permits

 තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගෙන් අලුත් යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට සහ කතානායකවරයාට පසුගිය සතියේදී ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.මන්ත්‍රීවරුන්ට ද රාජ්‍ය සේවකයන්ට දෙන වාහන බලපත්‍රයට සමාන බලපත්‍රයක් දී

රටට වාහන ගෙන්වීමට අවසර ලැබෙන අවස්ථාවේ සිට ක්‍රියාත්මක කරන ලෙස එම අලුත් යෝජනාවෙන් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.මෙම යෝජනාව ද ජනාධිපතිවරයාට යොමු කරන බව කතානායකවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.මන්ත්‍රීවරුන් මුලින් යෝජනා කර තිබුණේ ඔවුනට කලකට පෙර ලැබුණු කෝටි දෙකකට වැඩි වටිනා වාහන බලපත්‍රයයි.

රාජ්‍ය සේවකයන් දෙදහසකට තීරු බදු රහිත වාහන බලපත්‍ර දැනට නිකුත් කර ඇතත් වාහන ආනයනය කිරීමේ තහනම හේතුවෙන් එම බලපත්‍ර වෙනුවෙන් වාහන ලබා ගැනීම මෙතෙක් නොහැකිවී ඇතැයි පැවැසේ.

තීරු බදු රහිත වාහන බලපත්‍රයක් නොපමාව ලබා දෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ Fපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් අත්සන් කළ ලියවිල්ලක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය දා බාර දුන්හ. අනතුරුව එම ලියවිල්ල කතනායකවරයා විසින් ජනාධිපතිවරයාට පසුගියදා බාරදෙනු ලැබීය.මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහකාරක සභාවෙන් යෝජනාවක් එවන ලෙසට ජනාධිපති කාර්යාලය ඉන් අනතුරුව දැනුම්දී තිබිණැයි ද දැනගන්නට ඇත.මන්ත්‍රීවරුන්ගේ අලුත් යෝජනාවද ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර රජයේ සේවකයන්ට දී ඇති වාහන බලපත්‍රයට වාහන මිලදී ගැනීම සඳහා නුදුරේදීම අවස්ථාව සලසා දීමට රජයේ අවධානය යොමු වී ඇත.

තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් ද හටගෙන ඇතැයි වාර්තා වේ.ඊට හේතු වී ඇත්තේ ඡන්දයක් ළඟ ළඟ එන අවස්ථාවක වාහන බලපත්‍ර ගැනීමෙන් ඡන්ද පදනමට බලපෑම් ඇති වේ යැයි සමහර මන්ත්‍රීවරුන් මත පළ කිරීම නිසා යැයි දැනගන්නට ඇත. මන්ත්‍රීවරුන්ට මීට පෙර දුන් වාහන බලපත්‍රය වෙනුවට රජයේ සේවකයන්ට දෙන වාහන බලපත්‍රය ඉල්ලා සිටීම දක්වා පසු බැසීම ද එහි ප්‍රතිඵලයක් බව වාර්තා වේ.

සුජිත් හේවාජුලිගේ