adani-dinesh-court

අදානි සමාගම මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතියට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම්, සති 3ක් ඇතුළත ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ඉන්දියාවේ අදානි සමාගමට ඊයේ (18) නියම කළේය. යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් වෙඩිතලතිව් රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් රක්ෂිත භාවයෙන් ඉවත් කිරීමට නියම කරමින්, පරිසර ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා පරිසර සංවිධාන සහ පරිසරවේදීන් ගොනු කර ඇති පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලිණි. ඉන්දීය සමාගමක් සමග ඇති කරගත් ගිවිසුමක් ඉන්දීය රජය සහ මෙරට රජය සමග ඇති කරගත් ගිවිසුමක් ලෙස සැලකීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය නීති විරෝධී මෙන්ම අදූරදර්ශී හෙයින්,

අදාළ සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලැබූ කැබිනට් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ, දිලෙන පාත්‍රගොඩ ඇතුළු පිරිසක් ගොනු කර ඇති මෙම පෙත්සම්වල වගත්තරකරුවන් වශයෙන් අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.ඉන්දීය සමාගමක් වන ‘අදානි’ සමාගම මන්නාරම ප්‍රදේශයේ සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට යෝජනා කර ඇතැයි ද, එම ප්‍රදේශයේ සුළං බලාගාර ඇති කිරීමේ

ව්‍යාපෘතිය හේතුවෙන් එම ප්‍රදේශය හරහා ලංකාවට පැමිණෙන සංක්‍රමණික කුරුල්ලන්ට විශාල හානියක් විය හැකි යැයි ද සඳහන් කරන පෙත්සම්කරුවෝ, කුරුල්ලන්ගේ ජීවිත හානි වීමේ මෙන්ම තුවාල වීමේ අවදානමක් ඇතැයි ද සඳහන් කරති.

සුළං බලාගාර ව්‍යාපෘති හේතුවෙන් මේ වන විට ද සංක්‍රමණික කුරුල්ලන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇතැයි ව්‍යාපෘතිය හේතුවෙන් පරිසර පද්ධතියට විශාල හානියක් වන බව ද පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, ඉන්දීය සමාගමක් සමග ඇති කරගත් ගිවිසුමක් ඉන්දීය රජය සහ මෙරට රජය සමග ඇති කරගත් ගිවිසුමක් ලෙස සැලකීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය නීති විරෝධී සහ අදූරදර්ශී හෙයින්, අදාළ සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගනු ලැබූ කැබිනට් තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා සිටිති.පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින්, මෙම පෙත්සම්වලට පාදක සිද්ධිය ජාතික වැදගත්කමින් යුත් ගැටලුවක් වන හෙයින්,

කඩිනමින්

විභාගයට ගන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම්වලට අදාළ කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම් අගෝස්තු 2 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය, මේ සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් සති තුනක් ඇතුළත ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට නියම කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිඥ නීල්සාන්ත සිරිමාන්න මහත්වරු පෙනී සිටියහ.වගඋත්තරකාර අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ, ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියාය.
 රන්ජන් කටුගම්පොළ