Adanis-Mannar-wind-power-project-loses-billions-due-to-overbuying-of-units

මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටවූ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 



ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය බාරදුන් තොරතුරු එහි අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීමට ප්‍රමාණවත් නොවීම ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටුවීමට හේතුවූ බවද එම ලිපියේ දැක්වේ.

අනුමැතිය ගැනීමට අවශ්‍ය ලංකා විදුලිබල මණ්ඩලය සහ අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම ඇතිකර ගන්නා ලද බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ සම්පූර්ණ කෙටුම්පත ඉන්දීය රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් දුන් අවසරය යනාදී තොරතුරු මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.



කිලිනොච්චියේ සිට හබරණ දක්වා කිලෝවෝල්ට් 400 ධාරිතාවෙන් සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විස්තර සහ ඊට වැයවන මුදල නැවත අය කරගන්නා ආකාරය පිළිබඳ තොරතුරු ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබා දීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත්වී ඇතැයිද ලිපියේ දැක්වේ.එසේම මන්නාරමේ අදානි ව්‍යාපෘතිය ආසන්නයේ‍ පිහිටි මෙගාවොට් 50ක සුළං බලාගාරයට කැඳවූ ටෙන්ඩරය සඳහා ලැබී ඇති ලංසු වටිනාකම් පිළිබඳ තොරතුරුද ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබාදී නැතැයි එහි සඳහන් වේ.



ව්‍යාපෘතිය හේතුවෙන් පරිසරයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපෑම් ඇස්තමේන්තුවේ ප්‍රතිඵල සහ පාරිසරික බලපත්‍රයේ විස්තර පවා ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපොහොසත් වී ඇතැයි එම ලිපියේ සඳහන් වේ.ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාදීමට ඒ සඳහා අවශ්‍ය මූලික තොරතුරු බාරදෙන ලෙසත් මුල් අවස්ථාවේ අදාළ තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් සාධාරණිකරණය කිරීමක් කරන ලෙසත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට එම ලිපියෙන් දන්වා ඇත.

නාමිණි විජේදාස (සන්ඩේ ටයිම්ස්)