al-winners-more-details

මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව ඒඒ විෂයන්ගෙන් පළමු තැන දිනූවන් ජයග්‍රහණයෙන් පසු කළ කතාබස් හා ඔවුන්ගේ පුද්ගලික තොරතුරු එකතුවක් පහතින් පළවේ.


ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය

වෛද්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියටම ගොස් රටේ ජනතාව වෙනුවෙන් උපරිම සේවාවක් කිරීමත් වෛද්‍ය ක්ෂේත්‍රයේ නව නිපැයුම් සොයා ගැනීමත් අනාගත බලාපොරොත්තුව බව මෙවර උසස්පළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට සමත්ව ඇති ගාල්ල සංඝමිත්තා විදුහලේ පහන්මා උපනි ලෙනෝරා සිසුවිය පැවසුවාය.කරාපිටිය වෛද්‍ය පිඨයේ මහාචාර්යවරුන්වන ජනක ලෙනෝරා මහතාගේ සහ ගයනි අල්විස් මහත්මියගේ දියණිය වන පහන්මා පළමු න ශ්‍රේණියේ සිට අධ්‍යාපනය ලැබුවේ සංඝමිත්තා විදුහලේය. එහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත්වූ ඇය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සමස්ත ලංකා දෙවන ස්ථානයට පත්වූවාය. ඒ අනුව සියලු දෙනාගේම බලාපොරොත්තු ඉටුකරමින් ඇය උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ලංකාඉව්ම ප්‍රථමයා බවට පත්විය.

පහන්මාගේ අයියාද මේ වනවිට ප්‍රංශයේ විශ්ව විද්‍යාලයක පශ්චාත් උපාධියක් හදාරමින් සිටී. තමා ලැබූ ජයග්‍රහණය ගැනත් අනාගත බලාපොරොත්තු ගැනත් ඇය පැවසුවේ මෙවැන්නකි. “පළමුවෙන්ම මගේ නංගිල මල්ලිලට දෙන්න තියෙන පණිවුඩය නම් මුල සිටම විශ්වාසයෙන් වැඩ කරන්න. අනුන් වට්ටන්න හිතන්න එපා. එක අරමුණකින් හොඳට වැඩ කරන්න. මම හැමදාම ස්කෝලෙ ගියා. ඒ වගේම ටියුෂනුත් ගියා. ඒ විදියට එක අරමුණකින් වැඩ කරපු නිසා මම අද පළවෙනියා වුණා. මම පාස් වෙන බවට නම් විශ්වාසය තිබුණා. නමුත් පළමුවෙනිය වෙයි කියල හිතුවේ නැහැ.

මම පාසලේ අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් වලින්ද දෙස් විදෙස් ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා. මම පාසලේ මාධ්‍ය ඒකකයේ සිටියා. ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ සිටියා. ඉංග්‍රීසි කථික තරගවලින් ජයග්‍රහණ ලබල තියෙනවා. ඒ වගේම පියානෝ වාදනය කරනවා.තවමත් අපේ පාසල්වල හය වසරේ සිට එකොළහ වසර දක්වා තියෙන්නේ එකම විදියේ කට පාඩම් අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. ළමයි වැඩ කරන විදියට වෙනස් කරන්න ඕනැ. නැතිනම් උසස් පෙළට එනවිට හුඟාක් සංකීර්ණ වෙනවා. ඉදිරිකාලයේවත් එවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇතිවේවි කියල හිතනවා.මගේ බලාපොරොත්තුව වෛද්‍යවරියක් වී රටට සේවය කිරීමයි. අවස්ථාවක් ලැබුණොත් වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙනවා. කොහොම වුණත් මගේ රට අමතක කරන්නේ නැහැ. මගේ රටට හැකි උපරිම සේවය කරනවා.”






 ගණිත අංශයෙන් පළමු ස්ථානය

“මගේ ඉලක්කය පරිගණක ඉංජිනේරුවෙක් ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමයි. මෙම ජයග්‍රහණය ලැබීමට මගේ පාසල් මාතාව වන කොළඹ ආනන්ද විදුහල සහ උපකාරක පන්තිවලින් යන දෙකෙන්ම විශාල සහයෝගයක් ලැබුණා” යැයි අපොස උසස් පෙළ විභාගයෙන් (2023) ගණිත අංශයෙන් ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානය ලැබූ කොළඹ ආනන්ද විදුහලේ ඩබ්ලිව්.ඒ. චිරාත් නිරෝධ ‘ලංකාදීප’යට පැවසීය.චිරාත් නිරෝධ ඊසෙඩ් අගය 3.027 ක් ලබමින් ගණිත අංශයේ පළමු ස්ථානයට පත් වූ අතර ඔහු නාත්තන්ඩිය ධම්මිස්සර විදුහලේ 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184 ක් හිමිකරගනිමින් ආනන්ද විදුහලට ඇතුළත් වී තිබේ.

ක්‍රිකට් සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩාවලට ද ඇලුම්කරන නිරෝධ සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට සම්මාන 9 ක් සමගින් සමත් විය. පරිගණක අංශය සම්බන්ධයෙන් වඩාත් උනන්දුවක් දක්වන නිරෝධ පරිගණක අංශයෙන් ආනන්ද විදුහල නියෝජනය කළ දක්‍ෂ ශිෂ්‍යයෙකි.ආනන්ද විදුහලෙන් ලැබූ ගණිත විෂයට අදාළ ප්‍රායෝගික දැනුම වඩාත් අගය කරන නිරෝධ මාර්ගගත ක්‍රමය ඔස්සේ උපකාර පංති අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මව නාත්තන්ඩිය ප්‍රදේශයේ විදුහලක ගුරුවරියක වන අතර බාල සොහොයුරු විදුල පැහැසර, කොළඹ තර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය ලබයි.



වාණිජ අංශයෙන් පළමු ස්ථානය

 පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය වාණිජ අංශයෙන් ලංකාවේ පළමු ස්ථානය ලබාගෙන තිබේ. ජයනාත් පුංචිහේවා සහ අනුෂා විකුම්සිරි යන දෙපළගේ දැරියන් තිදෙනකුගෙන් යුත් පවුලේ ශෙහාරා දෙවැනියා බව සඳහන් වේ.

බෙන්තර, ඉඳුරුව, ගෝනගල ප්‍රදේශයේ පදිංචි ශෙහාරාගේ වැඩිමල් සහෝදරිය ද විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ හදාරා මේ වන විට වයඹ විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවියකි. කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ගෙහාරා 5 වසර ශිෂ්‍යත්වය ඉහළින්ම සමත්ව  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගෙන පානදුර බාලිකා විද්‍යාලයට ඇතුළු වී තිබේ. මව්පියන් දෙදෙනා ව්‍යාපාරික කටයුතුවල නියැළෙන අතර, බාල දියණිය ද කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ 11 වසරේ ඉගෙනුම ලබයි. ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශෙහාරා සිතුමිණි සිසුවිය මෙසේ පැවැසුවාය.

“පරිගණක විද්‍යා අංශයෙන් ඉහළට ගිහින් රටට සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳ ප්‍රතිඵලයක් ලැබේවි කියා විශ්වාසය තිබුණත්, ලංකාවේ පළමු වැනියාම වෙයි කියා හිතුවේ නැහැ. නංගිලා මල්ලිලාට මට කියන්න තියෙන්නේ තරගයට යන්න අවශ්‍ය නැහැ, තමන්ට හැකි උපරිමයෙන් කරන්න උත්සාහ කරන්න කියලයි. මට මේ ජයග්‍රහණය ලබන්න අම්මයි, තාත්තයි ගොඩක් උදව් කළා."

ශෙහාරාගේ දක්ෂතාව පිළිබඳව අදහස් දැක්වූ ඇයගේ මව වන අනූෂා විකුම්සිරි මහත්මිය මෙසේ පැවැසුවාය.“දුව පාසලෙන් එදිනෙදා දෙන වැඩ එදිනෙදාම අවසන් කළා. අමතර පන්තිවලටත් සහභාගි වුණා. ඇය ඉහළ සාමාර්ථයක් ලබා ගනීවි කියලා විශ්වාසය තිබුණත් ලංකාවෙන් පළමුවැනියා වේවි කියා හිතුවේ නැහැ."
 





කලා අංශයෙන් ප්‍රථම ස්ථානය

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුළුවී නීතිය හදාරා නීතිඥයකුවීමත් එයට අමතරව තොරතුරු තාක්ෂණය පිළිබද උපාධියක් හැදෑරීමත් තමාගේ බලාපොරොත්තුව බව මෙවර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිවූ ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ටසුන් රිද්මික විතානගේ සිසුවා පවසයි. ටසුන්ගේ පියා උප පොලිස් පරීක්ෂක රංජිත් විතානගේ මහතා වැලිගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වන අතර මව් මහදුර රංජනී මහත්මිය ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකි. ටසුන්ගේ අක්කාද මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරමින් සිටී.

තමන්ගේ උසස් ප්‍රතිඵලය ගැන ටසුන් පැවසුවේ හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වූ නමුත් ලංකාවේම පළමු ස්ථානයට සමත් වේ යයි සිතුවේ නැති බවය. කෙසේ වෙතත් කැපවීම උත්සාහය සහ අධිෂ්ඨානය නිසා මෙම ප්‍රතිඵලය ලබා ගැනීමට හැකිවූ බවත් ඔහු පැවසීය.තම උපන්ගම වූ දෙනියායේ මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ටසුන් පසුව හය වසරේ සිට ගාලු මධ්‍ය මහා විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ හැදෑරීම සඳහා රිච්මන්ඩ් විදුහලට ඇතුළත්ව ඇත.

“මට හරිම සතුටුයි. මම ස්කෝලෙ ගියා. ඒ වගේම ටියුෂන් පංති ගියා. අම්ම තාත්ත මං ගැන දැඩි කැපවීමක් කළා. තාත්ත දෙනියායේ ඉඳල ගාල්ලට ආවෙත් අක්කගෙත් මගෙත් අධ්‍යාපනය නිසාමයි. මං දන්නව අම්ම තාත්ත මංගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඇති. ඉතිං මගේ බලාපොරොත්තුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයට ඇතුළුවෙල නීතිඥයෙකු වීමටයි.එයට අමතරව තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් හැදෑරීමටත් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ නීති මාණවත් නැති බව පේනවා. එනිසා මම ඒ පැත්ත තෝරගත්තා. තමන් ඉන්න ක්ෂේත්‍රයේ හොඳ පෞරුෂයක් ගොඩ නගා ගන්න ඕනෑ.

ඒ වගේම යුක්තිය පසිඳලීමේදී යම් යම් අඩුපාඩු තිබෙන බව අපට පේනවා. අපි මේවා නිවැරදි කළ යුතු වෙනවා. එනිසා නීති ක්ෂේත්‍රයට එක්වී රටට සමාජයට කළහැකි උපරිම සේවයක් කිරීම මගේ බලාපොරොත්තුවයි. අවසාන වශයෙන් මට මේ ප්‍රතිඵලය ලබාගැනීමට දායකවූ රිච්මන්ඩ් විදුහල්පතිතුමා ගුරු මණ්ඩලය මගේ අම්මා තාත්තා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුද කරනවා.

 





ඉංජිනේරු තාක්ෂණවේදී අංශයෙන් ප්‍රථම ස්ථානය

අපොස උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදී අංශයෙන් විභාගයට පෙනී සිටි ගිනිගත්තේන්න මධ්‍ය මහා විද්‍යාලයේ (ජාතික පාසල) ශෙහානි නවෝදන සිසුවිය දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.ගිනිගහේන හැබ්බකන්ද ප්‍රදේශයේ පදිංචි ශෙහානි නවෝද්‍යා සිසුවිගේ පවුලේ පියා, මව සහ සහෝදරයෙකු සිටින අතර, ඇයගේ මව්පියන් සුළු පරිමාණයෙන් තේ වගා කරමින් ජීවනෝපාය සිදු කරගෙන යනු ලබයි.වසරේ වැඩි කාලයක් වර්ෂාව ඇදහැලෙන අතිශය දුෂ්කර ප්‍රදේශයක් වන ගිනිගත්හේන හැබ්බැකන්ද ප්‍රදේශයේ පදිංචි ශෙහානි නවෝද්‍යා  සිසුවිය තමන් ලබාගත් ප්‍රතිඵලය ගැන මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

මම හොඳ ප්‍රතිඵලයක් අරගෙන තියෙනවා. ඒ නිසා හැමෝම ඒ ගැන කතා වෙනවා. ප්‍රතිඵල දැනගත්තට පස්සේ මට හොඳටම සතුටු හිතුණා, මට මේ ප්‍රතිඵලය ලබා ගන්න උපකාර කළ මව්පියෝ. සහෝදරයා, පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරුන්, බාහිර පන්ති ගුරුවරුන්ට මම ස්තුතිය පුද කරනවා.ඉංජිනේරු තාක්ෂණවේදය කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා. ඒ නිසා ගුරුවරුන් මට ගොඩාක් උපකාර කළා, ඒ අයගේ කැප කිරීම් මත මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණා. සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමත් එක්කම මම ඉංජිනේරු තාක්ෂණ විෂය කරනවා කියලා හිතාගෙන හිටියේ. කොහොම හරි හොඳ ප්‍රතිඵලයක් ගන්නවා කියලා හිතන් හිටියා.

මම පදිංචි ප්‍රදේශය හරිම දුෂ්කරයි ඒ නිසා මට බාහිර පන්තිවලට සහභාගි වෙන්න අභියෝගයක් වුණා. බස් එහෙම තියෙන්නේ වේලාවට, මාර්ගය අබලන්, අවුරුද්දේ වැඩි කාලයක් මෙහෙට වහිනවා. ඒකත් ලොකු අභියෝගයක් වුණා. කාලයක් අපිට මාර්ගගත ක්‍රම ඔස්සේ ඉගැන්විම් සිදු කළා, මගේ ගෙදරට දුරකථන සංඥා හූයි, ඒවත් දරාගෙන කොහොම හරි විභාගයට පෙනී සිටියා.මගේ අම්මට තාත්තට කොතරම් ආර්ථික අපහසුතා තිබුණත් අපි පොඩි කාලයේ ඉඳන්ම හොඳින් ඉගෙනගෙන හොඳ තැනකට ගේන්න ඕනි කියලා අරමුණක් තිබුණා. ඒ නිසා මෙම ප්‍රතිඵලයේ ගෞරවය ඒ දෙන්නට යන්න ඕනි.

මගේ අරමුණ නම් විශ්ව විද්‍යාලයට ගිහින් ඉගෙනගෙන කථිකාචාර්යවරියක් වෙන එක තමයි. අපේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් සර් පාසලට පිටතින් පවා ගුරුවරුන් ගෙනල්ලා සම්මන්ත්‍රණ පවත්වලා අපිව විභාගයට හොඳින් සුදානම් කළා, පාසලේ ඉංජිනේරු තාක්ෂණ විෂය කළේ ඉන්දික කාරියවසම් ගුරුතුමා, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව විෂය කළේ සඳමිණි ගුරුතුමිය, තොරතුරු තාක්ෂණ විෂය කළේ සංජීව ගුරුතුමා. ඒ අය මට ගොඩාක් උපකාර කළා.ඒ වගේම බාහිර පන්ති ගුරුවරුන් මට සෑහෙන්න උපකාර කළා මගේ අඩුපාඩුකම් පෙන්වලා දීලා. ඒ නිසා තමයි මම මෙහෙම ප්‍රතිඵලයක් ලබා ගත්තේ යනුවෙන් පැවසුවාය.

 


ජෛව පද්ධති තාක්ෂණවේදය ප්‍රථම ස්ථානය

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන්, දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමේ අරමුණින්, 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටි මට දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිවීම සතුටට කරුණක් බව, අවිස්සාවේල්ල, පුවක්පිටිය, ඩී.එස්. සේනානායක මාවතේ පදිංචි, ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනීම ලැබූ, කිරුලු සිහිල්දිය පල්ලියගුරු සිසුවා පැවසීය.ඔහු මෙසේද පැවසීය.

මම අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසලේ 1 ක වසරේ සිට 9 වසර දක්වා අධ්‍යාපනය ලැබුවා. 10 වසරේ සිට ඇහැළියගොඩ ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව ලැබුණා. 10 - 11 ශ්‍රේණිවල අධ්‍යාපනය හදාරා, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට, 'ඒ" සාමාර්ථ 9 ක් ලබා ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වුණා.එම ප්‍රතිඵල අනුව මම තාක්ෂණ විෂය ධාරාවෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය උසස් පෙළ හැදෑරීම සඳහා තෝරා ගත්තා. ඒ අනුව 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මට හැකියාව ලැබුණා. එම ප්‍රතිඵල ලබා ගැනීමට මගේ කැපවීමත්, සමඟම මාගේ මව්පියන්ගේත්, පවුලේ අයගේත්, පාසලේ තාක්ෂණ අංශයේ ගුරු භවතුන්ගේත්, ලොකු සහයෝගයක් ලැබුණා. ඊට අමතරව මම අමතර පන්ති වලටත් සහභාගි වුණා. එයද මෙම ප්‍රතිඵලයට තවත් රුකුලක් වුණා.

මෙම ප්‍රතිඵලය ලබා ගැනීමත් සමඟම ඉදිරියේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ විෂය ධාරාවට අදාළව විශ්වවිද්‍යාලයට ප්‍රවේශවී, උපාධියක් හදාරා,ආහාර තාක්ෂණය යටතේ රටට සේවයක් කිරීමටයි.උසස් පෙළ කියන්නේ ජීවිතයේ වැදගත් කඩඉමක්. උසස් පෙළ හැදෑරීමට වසර දෙකක පමණ කාලයක් ගත වෙනවා. හොඳට අධ්‍යාපන කටයුතු සිදුකර විභාගය හොඳට සමත්වී විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමෙන් හොඳ සුදුසුකමක් ලබා ගැනීමට පුළුවන් වෙනවා. අද වන විට දරුවන් බොහෝ දෙනෙක් උසස් පෙළට පෙනී සිටිනවා. නමුත් ඉදිරියට යෑමට ගොඩක් උනන්දුවෙන් ඉගෙනීමේ කටයුතු කිරීමට සිදු වෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට හොඳට කාලය කළමනාකරණය කරගත යුතු වෙනවා. සෑම විෂයකටම සමානම බරක් දී කටයුතු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් සමහර අය කියනවා අන්තිම මාස දෙකේ වැඩ කරලා විභාගයට හොඳට ලියන්න පුළුවන් වෙයි කියලා. මම එය අනුමත කරන්නේ නැහැ. නමුත් එහෙම කරන්නත් බැහැ. මුල් අවුරුද්දේ ඉඳලම කාලය කළමනාකරණය කර ගනිමින්, කැපවීමත්, ප්‍රශ්න පත්‍ර හොඳින්

අධ්‍යයනය කිරීමත්, පාසලෙන් දෙන සටහන් සම්පූර්ණ කිරීමත්, පාඩම් කිරීමත්, කළහොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වෙනවා. මම දවසේ පැය 24 ම පාඩම් කිරීම සිදු කළේ නැහැ. පාසලේ පොදු වැඩ කටයුතු වලත්, ක්‍රීඩා කටයුතුවලට, ප්‍රදේශයේ පොදු වැඩකටයුතු වලටත් මම සහාය ලබා දුන්නා. එතකොට මනස ගොඩක් නිරවුල් වෙනවා. එවැනි දේ සඳහා කාලයක් වැය කර නිවසට පැමිණි පසු ඉතිරි කාලය අධ්‍යයන කටයුතු සඳහා කැප කිරීමේ ප්‍රතිඵලය නිසා, මම අද මෙම ප්‍රතිඵලය ලබා ගත්තා. එම ප්‍රතිඵලය හිමිවීම සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිතුමාටත්, ආචාර්ය මණ්ඩලයටත්, මව්පියන්ටත්, උදව් උපකාර කළ සියලු දෙනාටත්, ස්තූති වන්ත වෙනවා යැයි ඔහු පැවසීය.