angelo-mathews-speaks

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුළු ලංකාවම පහතට හෙලුව බවත්, ඒ සම්බන්ධයෙන් බලවත් ලෙස කනගාටු වන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. නෙදර්ලන්තය සමගින් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (17දා) පැවැත්වීමට නියමිත තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් පැවසුවේ පළමු තරග දෙකේදී ක්‍රීඩා කළ ආකාරය අනුව තරගයට සාධාරණයක් කළා යැයි කිව නොහැකි බවයි.

එමෙන්ම කිසිදු කණ්ඩායමක් සැහැල්ලුවට ගත නොහැකි බවද මෙහිදී හෙතෙම පැවසීය.

"රටේ බලාපොරොත්තුව අපට ඉටුකරන්න බැරි උනා. ඒකට සමාව ඉල්ලනවා" යැයි හෙතෙම මෙහිදී පැවසීය."මේ වගේ තරගාවලියක එක තරගයක් පැරදුණත් ඒක තරගාවලියට බලපානවා. ඒ වගේම ඇෆ්ගනිස්තානය වගේ රටවල් හොඳින්ම ක්‍රීඩා කරනවා. මොකද ඔවුන්ට නැති වෙන්න දෙයක් නැති නිසා" යැයි හෙතෙම මෙහිදී පැවසීය. එමෙන්ම තමන්ගේ ලෝක කුසලාන දිවියේ වැඩිම ප්‍රමාණයක් සංචාරය කළ ලෝක කුසලානය මෙය බවත්, එය නිදහසට කරුණක් නොවූවත් යථාර්ථය එය බවත් හෙතෙම මෙහිදී පැවසීය.මෙහිදී ක්‍රීඩාවෙන් සිය සමුගැන්ම පිළිබඳවද මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දුන් මැතිව්ස් පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තමන් දැනට තීරණය කර නොමැති බවයි.