anura-kurunegala-incident

කුරුණෑගල සත්‍යවාදි ක්‍රීඩාංගණයේ පෙරේදා (02) පැවැති ජාතික ජනබලවේගයේ රැලියකට පැමිණි එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූප ගැනීමට ගිය සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ පොලිස් නිලධාරියකු එහි සිටි පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තාවේ. එහිදී බුද්ධි අංශයේ නිලධාරියා ඡායාරූප ගැනීම පසෙක තබා දිව ගොස් පාරේ නවතා තිබු ජීප් රථයකට නැගී බේරී පැන ගොස් ඇතැයි දැනගන්නට ඇත.ජන රැලිය ඇමැතීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එදින සවස 6.00ත්, 06.30 ත් අතර කාලයේදී පැමිණ ඇත.



දිසානායක මහතා ගමන් ගත් රථය මාවතේ නතර නොකර ක්‍රීඩාපිටියේ වේදිකාව අසලටම ගමන් ගැනීමේදී පිවිසුම් දොරටුව අසල සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියා ඡායාරූප ගැනීමට යාමේදී මතුවූ සැකය මත නායකයාගේ ආරක්ෂාවට පැමිණි පිරිස් ප්‍රශ්න කිරීමත් සමඟම අවට සිටි පිරිස් ඔහුට පහර දුන් බවත්, එහිදී තමා කවුද යන්න පවා නොපවසා දිව ගොස් පොලිස් ජීප් රථයකට ගොඩවී පොලිස් නිලධාරීන්ගේ රැකවරණය මැද පලා ගිය බවත් උත්සවයට සහභාගි වූ පිරිසක් පැවැසූහ.

සිද්ධිය පිළිබඳව වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.කේ. ජයලත් මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී “මෙතැනදී යම් සිදුවීමක් වෙලා තිබෙනවා. ඒත් මම කොළඹට ඇවිත් ඉන්න නිසා ඒ සම්බන්ධව කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාගෙන් අහන්න. ඔහු සිද්ධිය හොඳාකාරවම දන්නවා" යැයි පැවැසීය. කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බැහැර මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීය.

“සිවිල් ඇඳුමෙන් ඡායාරූප ගන්නේ කවුද යන්න නොදැන අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂක අංශයට මතුවූ සැකය මත ප්‍රශ්න කිරීමක් කරලා තිබෙනවා. එතැනදී අපි ඉදිරිපත් වෙලා ඔහු පොලිස් නිලධාරියකු බව පවසා මතු වූ සැකය ඉවත් කර දුන්නා. '' මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, හිටපු කුරුණෑගල දිස්ත්‍රික් ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු මෙසේ පැවැසීය.



“අපේ නායකතුමාගේ ආරක්ෂාව පිණිස පාරේ බස්සන්නෙ නැතිව වේදිකාව අසලටම එතුමා රැගෙන ගියා. එතකොට මම හිටියේ වේදිකාවේ. මේ නිසා සිද්ධිය ගැන මම දන්නේ නැහැ. නමුත් ෆොටෝ ගහන්න ගිහින් යම් සිදුවීමක් වුණා කියලා ඒ වාහනය පැදවූ රියැදුරාගෙන් මටත් දැනගන්නට ලැබුණා. ඒ හැරෙන්නට පිවිසුම් දොරටුවේ වෙච්ච මේ අකරතැබ්බයේ ඇත්ත තත්වය මම දන්නේ නැහැ."
 සිසිර කැලේගම