beddagana-lgbtq-fraud

අන්තර්ජාලයේ යෙදුමක් හරහා සමරිසි පුද්ගලයන් එකිනෙකා හදුන්වා දෙන බව ප්‍රසිද්ධ කර උපක්‍රමශීලීව දෙමහල් පාළු නිවසකට ගෙන්වා පහර දී නිරුවත් කර එම දර්ශන පටිගත කර අන්තර්ජාලයට මුදා හරින බව කියා, කප්පම් කල්ලියක් අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී ජාවාරම සඳහා යොදාගත් ස්මාර්ට් වර්ගයේ දුරකථනයක් ඇතුළු දුරකථන හයක් හා පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත,

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 ක් පොලිස් බාරයට ගෙන ඇත.

එම නිවසේ කාමරයක් තුළ තිබී සැකකරුවන් පහරදීමට යොදාගත් බව කියන යකඩ කූරක්, පොලු කැබලි කීපයක් පොලිසිය මගින් සොයාගෙන ඇත.නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු එම යෙදුම හරහා සම්බන්ධ වීමෙන් අනතුරුව පිටකොට්ටේ බැද්දගාන වෙහෙරකන්ද ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසකට ඔහු ගෙන්වා පහරදී නිරුවත් කර එම දර්ශන වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහරින බව තර්ජනය කරමින් එසේ නොකර සිටීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ඉල්ලූ බවට ලද පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරින් එම පුද්ගලයා හරහා සැකකරුවන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී එකී මුදල ලබාදීමට පිටකෝට්ටේ හන්දියට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව සැකකරුවන් මුදල් ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් විසින් ඉකුත්දා (25) රාත්‍රී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



සැකකරුවන් භාරයේ තිබී ජංගම දුරකථන අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ දී එහි තිබූ ස්මාට් වර්ගයේ දුරකතනය පරීක්ෂා කිරීමේදී මේ ආකාරයෙන් සැකකරුවන් විසින් ගෙන්වන ලද හයදෙනෙකුගේ නිරුවත් දර්ශන අඩංගුව තිබූ බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ පියාට අයත් මෙම දෙමහල් නිවස කුලී පදනම මත ලබාදීම සඳහා වසා දමා තිබූ එකක් බවත් පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.වයස අවුරුදු 41 හා 59 අතර පසුවන සැකකරුවෝ මොරටුව හා කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

බිමල් ශශ්‍යාමන් ජයසිංහ