blapitiya-incident

පොලිස් පරීක්ෂකවරයෙකුගේ පුතෙකුට අයත් රුපියල් ලක්ෂ 04 ක් වටිනා යතුරු පැදියක් සොරකම් කර එම යතුරු පැදියෙන් ගොස් සමෘද්ධි සංවර්ධන නිලධාරිණියකගේ රුපියල් ලක්ෂ 02 ක් වටිනා රන් මාලයක් සහ පෙන්ඩනයක් කොල්ල කෑ සැකකරුවන් දෙදෙනා 2024 ජූලි 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේ පී ආර් එල් විදානගමගේ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.
සැකකරුවන් විසින් සිදුකරන ලද තවත් අපරාධ තිබේද? යන්න සම්බන්ධයෙන් විමර්ශණය කර ප්‍රගතිය මී ලග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්තුමිය පොලීසියට දැනුම් දුන්නාය.


මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ධීවර නිවාස, ගෑම්පහ හන්දිය, රත්ගම ලිපිනයේ පදිංචි මහදුර සසිදු නෙත්සර (19) සහ රිජන්සි පාර, රණපනා පෙදෙස, රත්ගම ලිපිනයේ පදිංචි කෝරලේගේ අධීෂ අකලංක (19) යන දෙදෙනාය.
කොළඹ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන විනුක මානවඩු (26) නැමැති අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව හික්කඩුව පොලීසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. තමා හික්කඩුව දුම්රිය පොළ ආසන්නයේ තමාට අයත් SP BEB – 6262 අංකය දරණ බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදිය දිනපතා ගාල්කර දුම්රියෙන් කොළඹ සේවයට යන බවත් 2024 මාර්තු 28 දින එය ගාල්කල ස්ථානයේ නොතිබූ බවත් ඔහු විසින් කරන ලද පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වේ.
මෙසේ සොරකම් කරන  ලද යතුරු පැදිය රත්ගම පොලිස් වසමේ පාළු ප්‍රදේශයක අතහැර දමාගොස් තිබියදි හික්කඩුව පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් රත්ගම පොලීසිය විසින් කරන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ තවත් සොරකම් දෙකක් අනාවරණය කර ගැනීමට පොලීසිය සමත්ව ඇත. 2024 මැයි 09 දින රාත්‍රී කාලයේ රත්ගම පොලිස් වසමේ නිවසක ජනේලයක් විවෘත කර එයින් නිවසේ ප්‍රධාන දොරේ යතුර ලබාගෙන නිවස විවෘත කර එම නිවසේ තිබූ දේපල සොරකම් කිරීමක් සම්බන්ධයෙන්ද කරුණු අනාවරණය කරගත් බව රත්ගම පොලීසිය කියයි.
එයට අමතරව රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීමකට සහභාගී විමට 2024 ජුනි 11 දින යමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරිණියකගේ ගෙල බැදි රුපියල් ලක්ෂ 02 ක් පමණ වටිනා රන්මාලයක් හා පෙන්ඩනයක් කොල්ල කෑමක් සම්බන්ධයෙන්ද රත්ගම පොලීසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

හික්කඩුව දුම්රිය පොළ ආසන්නයේ ගාල්කර තිබියදී සොරකම් කරන ලද යතුරු පැදියෙන් ගොස් මෙම රන්මාල කොල්ලකෑම සිදුකල බවත් එයින් පසු යතුරු පැදිය අතහැර ගිය බවත් සැකකරුවන් රත්ගම පොලීසියට ප්‍රකාශ කර තිබේ. මෙම රන් භාණ්ඩ ගාල්ල දැඩිගම උකස් ආයතනයට උකස් කර තිබියදි රත්ගම පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.
හික්කඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ලීලාරත්න ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. හික්කඩුව පොලීසියේ පොලිස් සැරයන් නිලන්ත ජයවර්ධන (14825), රත්ගම පොලීසියේ පොලිස් සැරයන් ජී වී ඩබ්ලිව් ප්‍රියන්ත (13413) යන නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය )