The-rain-forecast-was-wrong-because-we-didn't-have-the-equipment-says-the-Meteorological-Department

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඊයේ (02 වැනිදා) දිනය සම්බන්ධයෙන් නිවැරදි කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව අනාවරණය වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙරේදා (31 වැනිදා) පස්වරුවේ නිකුත් කරන ලද ඉදිරි පැය 36 සදහා වූ කාලගුණ නිවේදනය මගින් සඳහන්
කරන ලද්දේ බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇදහැලෙන බවය.

නමුත්, ඊයේ (01 වැනිදා) පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළදී රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලි මීටර් 436 ක වර්ෂාපතනයක් වාර්තා විය.

නිවැරදි අනාවැකියක් ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ඩොප්ලර් රේඩාර් (Doppler Radar) පද්ධතියක් නොමැතිවීම නිසා වැසි තත්ත්වය පිළිබඳව නිශ්චිතවම සඳහන් කිරීමට නොහැකිවූ බවය.

ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මගින් වායුගෝලීය සාධක හඳුනාගැනීමෙන් ඉදිරි පැය දෙක තුනක කාලගුණ අනාවැකිය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. මෙම තාක්ෂණය ලෝකයේ රටවල භාවිත කෙරෙන්නේ දැනට අවුරුදු 20 කට වැඩි කාලයක සිටය.

ශ්‍රී ලංකාවට ද නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් අය වැයෙන් වෙන් කෙරිණි.

මෙම පද්ධතිය ගොංගල කඳු මුදුනේ සවි කිරීමටද සැලසුම් කෙරිණි. ඇමරිකාවෙන් 2011 වසරේදී ආනයනය කරන ලද මෙම පද්ධතිය ගොංගල කඳු මුදුනට ප්‍රවාහනය කරද්දී රථය පෙරළී ගියේය. කෙසේ නමුත්, මෙම පද්ධතිය භාවිත කිරීමට මෙතෙක් නොහැකිවී තිබේ. මෙම පද්ධතිය සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් වැයවී ඇතැයි ද පැවසේ.

කෙසේ නමුත්, මේ දක්වා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොමැතිවීම නිසා ඉදිරි පැය කීපය තුළදී ක්ෂණිකව ඇතිවන කාලගුණ විපර්යාස සම්බන්ධව නිවැරදි අනාවැකි තත්ත්වයන් ප්‍රකාශ කිරීමට නොහැකිවී ඇත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියා සිටියේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණය පවතින්නේ වසර ගණනාවක් පිටුපසින් බවත්, ලිං මැඩියෝ වගෝ එකම තැන සිරවී නොසිට තාක්ෂණය සමග කාලගුණ දෙපාර්තමේන්තුව ඉදිරියට යායුතු බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එක තැනක සිරවී සිටින බවත්, ලෝකයේ අනෙකුත් රටවල කාලගුණ විද්‍යා අංශය ලෝකය ප්‍රගතියක් ලබා තිබෙන බවත්,

ගතානුගතික නොවී නවීන තාක්ෂණය සමග ඉදිරියට යායුතු බවද ඔහු මාධ්‍ය හමුවේ කීවේය.

ලෝක බැංකු ආධාර ඇතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණය සිදු කරමින් පවතින බවත්, ජපානයේ ජෛයිකා ආධාර ඇතිව ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් මේ වසරේ ජූලි මාසය වනවිටදී සවි කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් පුරෝකථන අනුව මෙම 05 වැනිදා තෙක් මිලි මීටර් 150 ඉක්මවූ වැසි ඇදහැලීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(විමුක්ති නානායක්කාර)