3-who-came-to-steal-the-lightning-conductor-after-making-a-video-of-Jetavanarama-Dagaba-were-arrested

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි තිදෙනෙකු, අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලීසිය සඳහන් කරයි.තඹුත්තේගම සෝලම, මීරගහවත්ත වැලිමඩ, උඩුව, මහනුවර යන ප්‍රදේශයන්වල පදිංචි 29, 38 සහ 41 වියේ පසුවන තිදෙනෙක් මෙසේ පෙරේදා (02දා) අත්අඩංගුවට පත්වූහ. අදාළ සොරකම සඳහා මොවුන් පැමිණි බව කියන ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.ඓතිහාසික ජේතවනාරාම දාගැබ ආරක්ෂාවට පවතින සලපතල මළුවේ පිහිටුවා ඇති අකුණු සන්නායකය සොරා ගැනීමට පැමිණි එම පුද්ගලයන් තිදෙනා ඒ සොරකම් කිරීමට ප්‍රථමයෙන් ජංගම දුරකථන මගින් මෙම අකුණු සන්නායකයේ video හා ඡායාරූප රූප ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.



අනතුරුව මේ සම්බන්ධයෙන් උඩමළුව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (02දා) උදෑසන සිට සිදු කළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් එදින පස්වරු 3.15ට පමණ සලපතල මළුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.මෙම අකුණු සන්නායකය ජංගම දුරකථන මගින් වීඩියෝගත කර රාත්‍රියේදී මෙම අකුණු සන්නායකය සොරා ගැනීමට මෙම සැකකරුවන් විසින් සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂාවේදී මොවුන් විසින් මීට පෙර සිදු කරන ලද නිධන් වස්තු සොරා ගැනීම පිළිබඳ තොරතුරු රැසක් ද අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (03)අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. උඩමළුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 බී.ජී. චතුරංග