Sanitary-napkin-vouchers-are-presented-to-adult-students-by-Minister-Susil

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා වෙළෙඳසල්වලින් ගැනීමට වවුචර නොමිලේ ලබා දීම
සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත ආරම්භ කළේය. 


සිසුවියන්ගේ පාසල් පැමිණීම දිරිගැන්වීමත් ආර්ථව සමය තුළ ඔවුන් මුහුණ දෙන ගැටලු‍ හා සෞඛ්‍යමය නොදැනුම්වත්භාවය හේතුවෙන් අධ්‍යාපනය සඳහා නිසි අවධානයක් යොමු නොවීම වැනි අහිතකර තත්වයන් වලක්වාගැනීමත් මෙමගින් අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යංශ මාධ්‍ය ඒකකය දන්වා ඇත.


වැඩිවියට පත් ශිෂ්‍යාවන් සමස්තය අතරින් වතු පාසල් කාණ්ඩයට අයත් ජාතික පාසල් 07 සහ සියලු‍ පළාත් පාසල්වලට අයත් වැඩිවියට පත් ශිෂ්‍යාවන් සඳහා 2024 වර්ෂයේ ජුනි මාසයෙන් ආරම්භ කර මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත් නොමිලේ පිරිනමනු ඇත.
එක් සිසුවියකට රු.1200.00ක් වටිනා තිළිණපතක් ලබා දෙනු ලබන අතර එය රු. 600.00ක වටිනාකමින් යුත් ‘ඒ‘ හා ‘බී‘ ලෙස කොටස් දෙකකින් සමන්විත වන අතර පළමුව එහි ‘ඒ‘ කොටස භාවිත කළ යුතු අතර එහි වලංගු කාලය 2024.06.10 - 2024.07.10 දක්වා වේ. අනෙක් ‘බී‘ කොටස භාවිත කළ හැකි වන්නේ 2024.09.01 - 2024.09.30 අතර කාල සීමාවේ දී ය.  
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළෙඳසැලක් මගින් තිලිණපත පෙන්වා සනීපාරක්ෂක තුවා මිල දී ගත හැකි ය.
මෙම වැඩපිළිවෙල සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇත.