Actress-Kangana-Ranaut-who-was-elected-to-parliament-was-slapped-by-the-constable-who-was-in-her-house

ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන කන්ගනා රනවුත් ගුවන් තොටුපළකදී ඇති කරගත් පහරකෑමේ සිදුවීමක් නිසා මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ කථාබහක් ඇති කරගෙන තිබේ.
මෑතක පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද 5,37,022 ක් දිනා 'මන්දි 'අසුන ජයගෙන පාර්ලිමේන්තුවට මුල්වරට පිවිසෙන්නට සූදානමින් සිටින කන්ගනා යනු අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන්නියකි.


මෙම සිදුවීම බ්‍රහස්පතින්දා පස්වරු 3.30ට පමණ කන්ගනා චන්දිගාර් සිට දිල්ලියට යමින් සිටියදී සිදුව තිබේ.
චන්දිගාර් ගුවන් තොටුපළේදී පරීක්ෂා කිරීම් සිදුකරන ස්ථානයකදී CISF කාන්තා කොස්තාපල්වරියක කන්ගනා රනවුත්ට කම්මුල් පහරක් එල්ල කර තිබේ. මෙම පහරදීම පසුපස තිබෙන්නේ දේශපාලන විරෝධයකි. පහරදුන් කාන්තාව ඉන්දියාවේ ගොවි ව්‍යාපාරයේ කාන්තාවන්ට රුපියල් 100 ක දීමනාවක් සම්බන්ධ ගැටලුවක් නිසා ඇයට බැණවදිමින් මෙම පහර එල්ල කර ඇතැයි වාර්තාවේ.

ඉන්දීය පොලිසිය පවසන්නේ කුල්වින්ඩර් කවුර් නමැති මෙම කාන්තා කොස්තාපල්වරියගේ සේවය මේවනවිට අත්හිටුවා ඇති බවත් ඇයගේ ක්‍රියාව සම්බන්ධ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවත්ය.


 කාන්තා කොස්තාපල්වරිය සමඟ නිළිය බහින්බස්වීමක් ඇති වන අයුරු හා කොස්තාපල්වරිය කම්මුල් පහරක් එල්ල කළ අයුරු එතැන සිටි සියල්ලන් දැක ඇත. මේ සම්බන්ධයෙන් කන්ගනා පොලිස් පැමිණිල්ලක් ගොනු කර තිබෙන අතර සිදුවීම ගැන කණගාටුව හා විරෝධය පළකර තිබේ.

ඇය වීඩියෝවකින් පෙනී සිටිමින් පැවසුවේ, 'මම ආරක්ෂිතයි. අද චන්දිගාර් ගුවන් තොටුපළේදී මට අනතුරක් වුණා. ගුවන් තොටුපලේදී කාන්තා සෙබළියක මට හිරිහැරයක් කරා. තමන් ගොවි ව්‍යාපාරයේ ආධාරකාරියක් බවද ඇය පැවසුවා. එයා පැත්තකින් ඇවිත් මගේ මූණට ගැහුවා. මම ආරක්ෂිතයි, නමුත් මගේ කනස්සල්ල පන්ජාබයේ වැඩිවන අන්තවාදය සහ ත්‍රස්තවාදය ගැනයි. මෙය කෙසේ හෝ විසඳා ගත යුතුය." ලෙසිනි.
සිද්ධිය අවස්ථාවේ නිළියගේ මවද ඇය සමග ගමන් කරමින් සිට ඇත.



හර්යානා මහඇමතිවරයා විමර්ශනයට නියෝග කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සාමාජිකයින් 4 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිහිටුවා ඇත.

37 හැවිරිදි කන්ග්නා අමරදීප් රනවුත්  යනු ඉන්දියානු නිළියක, චිත්‍රපට නිෂ්පාදකවරියක සහ දේශපාලනඥවරියක ලෙස කැපී පෙනෙන්නියකි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ප්‍රමුඛ කරගත් හින්දි චිත්‍රපටවල ඇය චරිත නිරූපණය නිසා ප්‍රසිද්ධය.2006 සිට නිළියක ලෙස කටයුතු කරන ඇයගේ මෑත කාලීන චිත්‍රපට වන්නේ,
2020 Panga, 2021 Thalaivii, 2022 Dhaakad, 2022 Tiku Weds Sheru, 2023 Chandramukhi, 2023 Tejas ය. මීට අමතරව 2024 ඇය ඉන්දිරා ගාන්ධිගේ චරිතය නිරූපණය කරන Emergency චිත්‍රපටයද නිකුත්වන්නට නියමිතය.
ජාතික චිත්‍රපට සම්මාන සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන ලැයිස්තුවට හය වතාවක් ඇතුළත් වී ඇත අතර, Forbes India 's ශක්තිමත් කාන්තාවන් 100 ලැයිස්තුවටද 2020 ඇතුළත්වූවාය. ඉන්දීය රජය ඇයට රටේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ගෞරව කර තිබේ.

කෙසේ වෙතත් ගොවි කාන්තාවන් සම්බන්ධයෙන් නිලිය මින් ඉහත ක්‍රියාකර ඇති ආකාරය කෝපගන්වන සුළු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කන්ගනා මීට වසර 2කට පෙර පළ කළ සමාජ මාධ්‍ය සටහනක මෙසේ කියා තිබේ.

"කාන්තාවන් රුපියල් 100ට ගොවි ව්‍යාපාරයට එකතු වෙනවා.එය ලැජ්ජා සහගත ක්‍රමයක්. පාකිස්තාන මාධ්‍යවේදීන් ඉන්දියාවේ ගෞරවය කෙළෙසමින් මෙවට ප්‍රචාරයක් දෙනවා.
අපේ අය ජාත්‍යන්තරව මේ ප්‍රශ්න ගැන කතා කරන්න ඕන." ලෙසිනි.