A-72-year-old-man-died-after-being-attacked-by-Thera-Nam-while-he-was-drinking-alcohol

හිමිනමක හා එක්ව මත්පැන් පානය කිරීමේ යෙදී සිටි හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙකු හිමිනමගේ ප්‍රහාරයකට ලක්ව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි ගිරිඋල්ලෙන් වාර්තාවේ.
පෙරේදා (08දා) රාත්‍රියේ මෙය සිදුව ඇත.
ස්ථිර වාසස්ථානයක් නොමැති හිමි නම කජුලන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බවත් ඔහු මියගිය පුද්ගලයා සමග මත්පැන් පානය කිරීමේ යෙදී සිටියදී ඇති වූ බහින් බස්වීමකින් පසු මෙසේ ප්‍රහාරයට ලක් වී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.



මෙසේ ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇත්තේ ගිරිඋල්ල පොලිස් වසමේ මාරවිට ගල්ගොඩේවත්ත මාරවිට, දඹදෙණිය ලිපිනයේ පදිංචිව සිටි රුවන්පුර අන්දිස් සිල්වලාගේ ඇල්බට් සිංඤෝ (72) නමැත්තෙකි.

පහරදීම හේතුවෙන් තුවාලකරු දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. සැකකාර හිමි නම සිදුවීමෙන් පසු පළා ගොස් ඇතැයි පොලීසිය කියයි.සැකකරු නිවසේ තනිව ජීවත් වී ඇති අතර, හිමිනමගේ මව සහ වැඩිමහල් සහෝදරයා ඥාති නිවසක වෙනම ජීවත්ව සිට ඇත. ඝාතනයෙන් පසුව මව සහ වැඩිමහල් සහෝදරයා තමන් පදිංචිව සිටි නිවසට පැමිණ ඇති අතර, ඝාතනය සිදුවූ ස්ථානයේ තිබූ ලේ පැල්ලම්ද ඔවුන් දෙදෙනා විසින් සෝදා තිබූ බව පොලීසිය පවසයි.



අදාළ සැකකාර හිමිනම මහණභාවය ලැබීමට පෙරද මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධව වරදකරු වී බන්ධනාගාරගතව සිටි අයෙකු බවද පොලීසිය පවසයි. නාරම්මල වැඩබලන මහේස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පක්ෂණයකට ලක් කර මරණයට හේතුව ලබා ගන්නා ලෙසට ගිරිඋල්ල පොලීසියට නියෝග කර ඇත. පලා ගිය සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.