17-student-gang-raped-in-cemetery-including-boyfriend-8-arrested-on-charges-of-treason

පසුගිය පොසොන් පෝය දින දන්සල් වඳින්න ගිය  17 හැවිරිදි පාසල් සිසුවියක රවටාගෙන ගොස් සුසාන භූමියකදී සමූහ දූෂණයකට ලක්කිරීමේ සිද්ධියට අදාළව ඇගේ පෙම්වතා බව කියන තරුණයකු ඇතුළු 8 දෙනකු පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
සිසුවිය මෙලෙස අතවරයට ලක්වී තිබුණේ හංවැල්ල, ජල්තර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ආදාහනාගාරයක් තුළදීය.

හංවැල්ල, පහළ කොස්ගම පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවිය ඉකුත් පොසොන් පෝදා සිය පුංචි අම්මා සමග ප්‍රදේශයේ දන්සලකට ගොස් ඇති අතර පසුව ඇය පොත් අලෙවිසලකට යන බව පුංචි අම්මාට පවසා ඉන් පිටව ගොස් සිය පෙම්වතා මුණගැසී තිබේ.



පෙම්වතා බව කියන තරුණයා ඇයව යතුරුපැදියෙන් ඇඹුල්ගම ප්‍රදේශයට ගොස් ඇරලවා තිබේ. පසුව පෙම්වතාගේ මිතුරන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ ඇය නංවාගෙන හංවැල්ල ජල්තර ප්‍රදේශයේ ඉදිකරමින් තිබෙන ආදාහනාගාරයකට රැගෙන ගොස් ඇය දූෂණයට ලක්කර ඇත. අනතුරුව ඔවුන්ගේ තවත් මිතුරන් තිදෙනකු ද පැමිණ එම ස්ථානයේදී ඇයට අතවර කර ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ තවත් තරුණයකු මාර්ගයේ රැඳී සිටිමින් ඔත්තු බලා ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

ඇයව එම ස්ථානයට රැගෙන ආ තරුණයකු යළිත් සිය යතුරුපැදියෙන් ඇය හංවැල්ල, ආටිගල ප්‍රදේශයට රැගෙනවිත් ඇරලවා තිබේ. එහිදී ඇය නිවසට යෑමට ඔහුගෙන් මුදල් ඉල්ලා ඇති අතර, ඔහු ඇයට රුපියල් 40ක් දී පිටව ගොස් තිබේ.

නිවසට යෑමට නොහැකිව ඇය මාර්ගය අසල හඬමින් සිටියදී එම මාර්ගය හරහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියකු ඇය දැක පැමිණ කරුණු විමසා තිබේ.

තමන් මුහුණදුන් සිද්ධිය සිසුවිය එහිදී පොලිස් නිලධාරියා හමුවේ පැවසීමෙන් පසු ඔහු ඇය ත්‍රිරෝද රථයක නංවාගෙන සමූහ දූෂණයට ලක්වූ ස්ථානයට රැගෙන ගොස් තිබේ. එසේ යද්දී දන්සලක් අසල ඇය රැගෙන ගිය තරුණයකු සිට ඇති අතර, සිසුවිය ඔහුව පෙන්වීමෙන් පසු පොලිස් නිලධාරියා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19ත් 21ත් අතර වයසේ පසුවන්නන් බව වාර්තා විය.
පෙම්වතා කියන තරුණයා දැඩිගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

සිසුවියට අතවර කළ අනෙක් සියලු දෙනා තම මිතුරන් බව පොලිසිය ප්‍රශ්න කිරීමේදී සැකකාර තරුණයා පවසා තිබේ.

ඒ අනුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පෙම්වතා බව කියන තරුණයා ඇතුළු 8 දෙනකු පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පෙම්වතා මෙම පාසල් සිසුවිය සිය නිවසට ද රැගෙන ගොස් මින් පෙර අතවර කර තිබූ බව හෙළි වූ බවත් අනතුරුව ඔහු මේ ගැන සිය මිතුරන්ට ද පවසා ඇති බවත් පොලිසිය කියයි.



මෙම සිසුවිය 2022 වසරේ සිට අවස්ථා රැසකදී විවිධ පුද්ගලයන් විසින් අතවරයට ලක් කර ඇතැයි හෙළි වූ බවත් සිසුවිය පරස්පර අදහස් පළ කරන බවත් පොලිසිය කියයි.

සිසුවිය සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් තරුණයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධියට සම්බන්ධ තරුණයන් අට දෙනා ඊයේ (23දා) හෝමාගම මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්දික, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂිකා තෙන්නකෝන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදු කරති.