A common pay structure for civil service from January

දැනට සේවා කාලය මත පදනම්ව රජයේ විධායක සේවයේ නිරත නිලධාරීන්ට ගෙවන විශේෂ දීමනාව ජූලි මස පළමුවැනිදා සිට රුපියල් 10,000 කින් ඉහළ දැමීමටත්, සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා පොදු වැටුප් ව්‍යුහයක්
ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දීමටත් රජයේ දීපව්‍යාප්ත සමාන්තර සේවාවල නියුතු විධායක නිලධාරීන් අතුරින් සීමිත කොටසකට බලපා ඇති වෘත්තීය ගැටලු ආශ්‍රිතව විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුව නිර්දේශ කර ඇත.



සේවා කාලය මත පදනම්ව දැනට රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට ගෙවන විශේෂ දීමනාව, සේවා කාලය නොසලකා රුපියල් 25,000 ක් දක්වා සංශෝධනය කිරීමට කමිටුව නිර්දේශ කර තිබේ.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර ඇති මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරති.

රජය විසින් නිසි සමාලෝචනවලින් තොරව සේවාවන් කිහිපයක් සඳහා පමණක් විටින් විට හඳුන්වාදෙන ලද ඉහළ වැටුප් තල සහ දීමනා හේතුවෙන් ඊට සමාන්තර වෙනත් සේවාවන් 17 කට අයත් විධායක නිලධාරීන් 13,000 පමණ පිරිසක් විවිධ වෘත්තීය අරගලවල නිරතව සිටින බවත්, එය රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවට බරපතළ ගැටලු නිර්මාණය කිරීමට බලපා ඇතැයි ද එම කමිටුව සඳහන් කරයි.



වර්තමාන රාජ්‍ය සේවයේ 1,748,309 ක අනුමත කාර්ය මණ්ඩලයකින් සමන්විත බවත්,එම පිරිස අතුරින් දීපව්‍යාප්ත සමාන්තර විධායක සේවාවල සියයට තුනක ප්‍රතිශතයක් එනම් 56,426 ක් රාජ්‍ය සේවාවේ විවිධ තලවල කළමනාකරණ/විධායක වගකීම් මෙහෙයවන බවද කමිටුව පවසයි.

සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා විසඳීම සඳහා පොදු වැටුප් ව්‍යුහයක් ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දීමටත්, දෙපාර්තමේන්තුගත සේවාවල විධායක නිලධාරීන්ටද දීපව්‍යාප්ත සේවාවල දැනට ක්‍රියාත්මක නිර්බාධක උසස්වීම් ක්‍රමවේදයට සමාන උසස්වීම් ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟත්වය මත වහාම ක්‍රියාත්මක කිරීමටද කමිටුව යෝජනා කර ඇත.

රජයේ විධායක සේවයේ නිරත නිලධාරීන්ට සේවා කාලය නොසලකා රුපියල් 25,000 ක් දක්වා විශේෂ දීමනාව සංශෝධනය කිරීමේදී එක් එක් සේවාවන්වල සුවිශේෂීත්වය වෙනුවෙන් දැනට විශේෂ දීමනාවක් ඔවුන් ලබා ගන්නේ නම් එකී සේවාවන්වල නිලධාරීන්ට මෙම දීමනාව හිමි නොවන බවත්, අඩු දීමනාවක් ලබන නිලධාරීන්ට එම දීමනාව සහ වැඩිවන දීමනාව අතර පවතින වෙනස පමණක් ගෙවීමටද කමිටුව නිර්දේශ කර තිබේ.



දීප ව්‍යාප්ත සේවාවල නියුතු 1,278 ක පිරිසක් විශේෂ ශ්‍රේණියේ සුදුසුකම් ලබා ඇතත්, එම තනතුරු පුරප්පාඩු නොමැතිවීම නිසා ඔවුන්ට උසස්වීම් ලබා ගැනීමට නොහැකිව සිටිති. මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කර මාස තුනක් ඇතුළතදී කමිටුව විසින්ම විසඳුම් ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ ලබාදීමට නියමිතය.

මෙම කමිටු වාර්තාව අගමැති, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

(සාලිය කුමාර ගුණසේකර)