නිවාඩුවක් ගත කිරීමට දිවයිනට පැමිණ සිටි මාලදිවයින් ජාතික වෛද්‍යවරියක් බොරැල්ලේ, ඇල්විටිගල මාවතේ නිවාස සංකීර්ණයක නිවසකදී ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීමෙන් මියගොස් ඇතැයි බොරැල්ල පොලීසිය සඳහන් කරයි. අසිහක් නෝන් සෆියු (29) නමැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.මෙම වෛද්‍යවරිය සිය 19 හැවිරිදි සහෝදරයා සමග පසුගිය 6වැනි දින මෙරටට පැමිණ. ඇල්විටිගල මාවතේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිට ඇත. ඉකුත් 24දා ඇය නිවසේ දී ඖෂධ අධිමාත්‍රාවක් ගැනීමෙන් රෝගාතුරව සිටියදී ඇගේ සොහොයුරා ඇතුළු පිරිසක් ඇය නාරහෙන්පිට ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇති බව පොලීසිය පවසයි.



එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරිය පෙරේදා (25) පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම කාන්තාව මෙරට ජාත්‍යන්තර පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරා 2017 වසරේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගෙන ඇති බව පොලීසිය පවසයි. 2022 වසරේ වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඇය ඇගේ මව් රට වන මාලදිවයිනට ගොස් එහි රෝහලක සේවය කර ඇති බව පොලීසිය සඳහන් කරයි. ඉකුත් දා ලංකාවට පැමිණීමෙන් පසු සතියකට පමණ පෙරද සියදිවි හානි කර ගැනීමට තැත් කර ඇති අතර ඇගේ සහෝදරයා ඇය නාරහෙහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව

ප්‍රතිකාර ලබා සුවය ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.මෙවරද ඇය ඖෂධ අධිමාත්‍රාවක් ලබාගෙන. ඇති බවත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් සිටි බවත් පොලීසිය සඳහන් කරයි. මෙම වෛද්‍යවරිය ඖෂධ අධිමාත්‍රාවක් ලබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. බොරැල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක