Fonsekas-return-to-the-UNP-was-marked-by-the-release-of-the-war-story-book

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.



ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සමරු තිළිණයක් ද පිළිගැන්විණි.

හිටපු යුද හමුදාපතිවරයෙකු ලෙස සරත් ෆොන්සේකා මහතාගේ සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකා මහතාට ඉදිරියට ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය.



මෙම උත්සවයට සජබෙන් කිසිවෙකු සහභාගී නොවූ අතර පක්ෂ මාරුව පිළිබඳ සැකයකින් කතාකළ සජබෙ සභාපති සරත් ෆොන්සේකා ඉදිරි ජනපතිවරණයේදී සජිත්ට නොව රනිල්ට සහය දක්වන බව මෙමගින් ගම්‍ය කෙරිණී.
දේශපාලන වාර්තා අනුව ලබන සතියේ සරත් ෆොන්සේකා රනිල් ආණ්ඩුවේ ඇමති ධූරයකට පත් කරනු ඇතැයිද වාර්තාවේ.