Duckworth-said-goodbye-and-Lewis-left-without-coming-back

ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවී, ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් කළ ඉංග්‍රීසි සංඛ්‍යානඥයෙකු වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සිය ජීවන ගමනට සමු දී ඇත. මිය යන විට 84 හැවිරිදි වියේ පසුවූ ඩක්වර්ත් ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය ජනප්‍රිය න්‍යායක් බවට පත්වූ ඩක්වර්ත් හා ලුවිස් න්‍යායේ සමනිර්මාපක විය.

වර්ෂාව හේතුවෙන් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයක් අතරමැද නවතා දැමුවහොත්, දෙපාර්ශ්වයටම අසාධාරණයක් නොවන ලෙස ජයග්‍රාහී ඉලක්කයක් සොයාගැනීම සඳහා, මෙම ක්‍රමය අද වන විට මුළු ලොව පුරාම භාවිත කරන නිල ක්‍රමයකි. ඩක්වර්ත්  තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ටෝනි ලුවිස් එක්ව හඳුන්වාදුන් මෙම න්‍යාය 1997 වර්ෂයේදී පළමුවෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට භාවිතයට ගත්තේය.

එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) විසින් නිල න්‍යායක් ලෙස භාවිතයට ගැනෙන්නේ 2001 වර්ෂයේදීය.

ඩක්වර්ත් සමග එක්වූ Anthony Robert Lewis යනු වේල්ස් හි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පසුව මාධ්‍යවේදියෙකු බවට පත් වූ අතර 1986 සහ 1998 අතර BBC රූපවාහිනී ක්‍රිකට් ආවරණයේ ප්‍රධාන මුහුණුවර බවට පත් වූ අයෙකි. Marylebone Cricket Club හි සභාපති බවටද පත්වූ ඔහු වර්ෂාව නිසා තරග අත්හැරීම සම්බන්ධ ගැටලුවට විසඳුමක් සොයමින් සිටියදී ඩක්වර්ත් හමුවිය.


ටෝනි ලුවිස් 2020 වර්ෂයේදී වයස 82දී ජීවිතයට සමු දුන්නේය.

මොවුනගේ න්‍යාය නිසා වර්ෂාව හෝ වෙනයම් හේතුවක් නිසා අතරමැද නවතා දැමෙන ක්‍රිකට් තරග සම්පූර්ණයෙන්ම අතහැර දැමීමෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට විශාල පිටිවහලක් විය. මුලින් ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය ලෙස භාවිතයට ගත්තත්, 2014 වර්ෂයේදී මෙය ඩක්වර්ත්, ලුවිස් හා ස්ටර්න් න්‍යාය ලෙස නැවත නම් කළේ, ඔස්ට්‍රේලියානු ජාතික සංඛ්‍යානඥයෙකු වූ ස්ටීවන් ස්ටර්න් මෙය නැවතත් වැඩිදියුණු කිරීම හේතුවෙනි.ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවාව නිසාම ඩක්වර්ත් හා ලුවිස් දෙදෙනාම 2010 වර්ෂයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ ගෞරවයට (MBE- Member of the Order of the British Empire) පාත්‍ර විය.