බදුල්ල කහටරුප්ප ප්‍රදේශයේ දි බාලවයස්කාර දැරියක දූෂණය කර එම දැරිය ද රැගෙන පලාගොස් සිටි 23 හැවිරිදි තරුණයෙකු ඉකුත් 5 දින වවුනියාව බෝගස්වැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.
මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන ලද කුට්ටියගොල්ල පොලිසිය විසින් පහත කරුණු තම විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබිණි.
බදුල්ල කුට්ටියගොල්ල පදිංචි පවුලක මව සහ පියා කොළඹ ප්‍රදේශයේ ආරක්ෂක අංශයේ රැකියාවක නිරතව ඇති අතර ඔවුන්ගේ 14 හැවිරිදි දියණිය සහ පිරිමි ළමුන් දෙදෙනා ඔවුන්ගේ ආච්චි අම්මා සමඟ නිවසේ සිට ඇති බව පොලිසිය පවසයි.
පසුව ඉකුත් ජනවාරි මසදී මෙම 46 හැවිරිදි කාන්තාව ස්වාමිපුරුෂයා රැකියාවේ නිරතව සිටියදී නිවාඩු රැගෙන තම නිවසට පැමිණෙන අවස්ථාවේ බස් රථයේදී දැන හඳුනාගත් තරුණයෙකු නිවසට කැඳවාගෙන විත් ඔහු සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙමින් නිවසේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වි ඇතැයි ද පොලිසිය කීය.
එලෙස නිවසේ සිටින අවස්ථාවේදී මෙම නන්නාඳුනන තරුණයා විසින් විටින් විට එම කාන්තාවගේ 14 හැවිරිදි දියණියගේ අඟපසඟ අතපත ගෑම කර ඇති අතර තම මව දැනුවත්ව එය සිදුවනු ඇතැයි සිතා එම දැරිය ද විරෝධය පළ නොකර සිට ඇති බවද වාර්තාවේ.
දැරියගේ මව බදුල්ල නගරයට ජනවාරි මස 25 දින ගිය අවස්ථාවේදී සැකකරු දැරිය දූෂණයට ලක්කර ඇති අතර ඉන්පසුවත් ඉඩ ලැබෙන අවස්ථාවන්වලදී ඇය සමඟ ලිංගිකව හැසිරි ඇති බවට කරුණු අනාවරණය වු බවද පොලිසිය කීය.
එලෙස කාලය ගතවන අවස්ථාවේ දී දිනක් තම නිවසට ගත් දුරකතන ඇමතුමකට තරුණයෙකු විසින් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව සැක සිතූ මෙම දැරියගේ පියා විසින් පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන පොලිසිය දැනුම්වත් කිරීමෙන් ද අනතුරුව බදුල්ල පොලිස් ස්ථානය වෙතින් පවුල් ආරවුල සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබිණ.
එම විමර්ශනවලදී මෙම කාන්තාව විසින් නිවසේ නවතා ගත් තරුණයා විසින් දැරිය අපයෝජනයට ලක්කර ලිංගිකව හැසිරී ඇති බවට කරුණු අනාවරණය කර ගැනීමත් සමඟ එම තරුණයා නිවසින් පිටව ගොස් ඇත. පසුව දැරිය වෛද්‍ය පරික්ෂණයකට භාජනය කිරිමෙන් අනතුරුව අධිකරණය මඟින් දැරියගේ මවට දියණිය භාරදීමට කටයුතු කළ බවත් ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී එම කාන්තාවට ද මෙම සිද්ධියට අධාර හා අනුබල දීම යන චෝදනාවන් පොලිසිය විසින් නඟා තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.
එලෙස තරුණයා නිවසින් පැන ගොස් දින කිහිපයකට පසු එනම් පෙබරවාරි මස 14 දින මෙම දැරිය නිවසින් අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ පොලිසිය ඇයගේ ජංගම දුරකතන වාර්තා, මුහුණු පොත ආදිය නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව ඇය වවුනියාව ප්‍රදේශයේ සිටින බවට කරුණු අනාවරණය කරගැනීමෙන් අනතුරුව වවුනියාව බෝගස්වැව පොලිසිය දැනුම්වත් කිරීමට කටයුතු කර තිබිණ.
ඉන් අනතුරුව ඉකුත් ජුනි 5 දින බෝගස්වැව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකාර තරුණයා සමඟ 14 හැවිරිදි දැරිය ද අත්අඩංගුවට ගෙන වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු ජුනි 13 දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට දැරිය කුට්ටියගොල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් හට භාරදෙන ලෙසට කරන ලද නියෝගයක් මත එම ස්ථානයේ කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් දැරිය (06) දින රැගෙන ඒමට පියවර ගෙන ඇත.
මෙම සැකකාර තරුණයා මාතර ගන්දර ප්‍රදේශයේ පදිංචි මවුපියන් නොමැති අයෙකු වන අතර ඔහු තම මිත්තනිය විසින් හදාවඩා ගෙන ඇති බවත් මෙම දැරියගේ මව විසින් දැරිය වවුනියාව ප්‍රදේශයට රැගෙන ගොස් තරුණයාට භාරදුන් බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිසිය කීය.
එලෙස රැගෙන ආ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇති අතර බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උපුල් චන්දන, බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි බුද්ධික ගුණසේකර යන නිලධාරීන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ කුට්ටියගොල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගැමුණු සිරිසේන සහ කාපොසැ නිලුකා (4984) විසින් මේ පිළිබඳව විමර්ශන සිදුකළ බවද පොලිසිය පවසයි.
(බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන)
0 Comments