bluemendal-death

කොටහේන බ්ලූ මැන්ඩල් මහල් නිවාස සංකීර්ණයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු කාමරයක් තුළ සැක කටයුතු ලෙස මිය ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි.මියගිය පුද්ගලයා වවුනියාව, තිරුනාවඩිකුලම් පදිංචි සූර්ය කුමාර් ප්‍රදීපන් නමැති ඇලුමිනියම් වැඩවල නිරත 41 හැවිරිදි අවිවාහකයෙකි.

එම නිවසේ හිමිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කාමරයේ දොර කඩා සිදුකළ පරීක්ෂාවේ දී කාමරයේ ඇඳ අසල බිම වැටී සිටිය දී සිරුර හමු වූ බව පොලිසිය කියයි.මළ සිරුරේ පාදවල පිලිස්සුම් තුවාල තිබූ අතර ඒ ආසන්නයේ තිබූ කැරකෙන කුෂන් පුටුව යට කොටස හැරෙන්නට සම්පූර්ණයෙන්ම පිලිස්සී විනාශ වී තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.



ගෑස් ළිප ද අඩකට වඩා පිලිස්සී තිබූ අතර ඊට සම්බන්ධව තිබූ ගෑස් සිලින්ඩරයේ ගෑස් සියල්ලම නිමවී තිබූ බවත් බ්ලෙන්ඩරයක උඩ කොටස ද මළ සිරුර තිබෙන ස්ථානයේ පාද අසල වැටී තිබී සොයා ගත් බවත් පොලිසිය කියයි. ඉකුත් 31 වැනි දින රාත්‍රී නිවසේ හිමිකරු මොහු සමග කතාබහ කර ඇති අතර තමන් නිසි පරිදි නිවසේ කුලිය ලබාදෙන බැවින් තමන්ට කරදර නොකරන ලෙසත් පාඩුවේ සිටීමට ඉඩ දෙන ලෙසත් ඔහු පවසා තිබූ බව නිවෙස් හිමිකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.



තදින් මත්පැන් පානයට ඇබ්බැහිව සිටි මෙම පුද්ගලයා මත්පැන් පානය නැවැත්වීමෙන් අනතුරුව තදින් ගංජා පානයට ඇබ්බැහි වී ඇති අතර ගංජා ගඳ පිටතට නොයාම සඳහා සුළං කවුළු රෙදිවලින් වසා දමා තිබී ඇතැයි ද පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.කෙසේ නමුත් සිදුකළ විමර්ශනවල දී විශාල ගිනි ජාලාවක් කාමරය තුළ විහිදී ඇති බවත් බිත්ති සහ වහලය කළු පැහැ ගැන්වී ඇති බව ඒ තුළ පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වන බව පොලිස් නිට්ටාරියා වැඩිදුරටත් පැවසීය. කාමරය තුළ ඇතිවූ ගින්නකින් පිටවූ විෂදුමාරයකින් මොහු මිය ගියාද? වෙනත් හේතුවක් මත මිය ගියාද? යන්න දැන ගැනීම සඳහා විමර්ශන පවත්වන බව පොලිසිය කියයි
 බිමල් ශ්‍යාමන් ජයසිංහ