canada-pusari-jaffna

යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.මෙම පූසාරිවරයා සහ තවත් පූසාරිවරුන් දෙදෙනෙකු අතර කාලයක් තිස්සේ පවතින අමනාපයක් හේතුවෙන් එම කෝවිලේ දේපල මෙසේ කඩා විනාශ කර ඇතැයි පොලිසිය පවසයි.



අත්අඩංගුවට ගෙන ඇත්තේ කැනඩාවේ ස්ථිර පදිංචිය හිමි යාපනය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයකු බව පොලිසිය පැවසීය. සැකකාර පූසාරිවරයාගෙන් කට උත්තරයක් ගැනීම සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට විරෝධය පළ කර බැණ තර්ජනය කර ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.සිද්ධියට සම්බන්ධ කෝවිල සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ පැවැති නඩුවකදී සැකකාර පූසාරිවරයාට සහ පැමිණිලිකාර පූසාරිවරුන්ට පූජා පැවැත්වීම සඳහා දින 10 බැගින් බෙදා වෙන්කර දී ඇති බව පොලිසිය පවසයි. එසේ තිබියදී සැකකාර පූසාරිවරයා නිතර කෝවිලට පැමිණ ගැටුම් ඇතිකර ගෙන ඇති බව කියති.

සිද්ධිය වූ දිනයේද සැකකාර පූසාරිවරයා කෝවිලට පැමිණ පූජාවට බාධා කරමින් දේපලවලට හානි කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමකදී එහි සිටි කාන්තාවකට පහරදී ඇති බව පොලිසිය පවසයි.

සැකකාර පූසාරිවරයා පිළිබඳව ශ්‍රී ලංකාවේ කැනඩා තානාපති කාර්යාලයට ද දන්වා ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.
ගයාන් සූරියආරච්චි