ceb-act-adani-parliament

විදුලිබල පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමෙන් අනතුරුව ඡන්ද විමසීමට ලක් වූ අතර එය වැඩි ඡන්ද 44 කින් සම්මත විය. අනතුරුව පනත් කෙටුම්පතේ තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. 
පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 103 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර විපක්ෂව සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 59 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත මගින් ස්වාධීන සහ වගවීම සහිත ආයතනික ආයතන පිහිටුවීම, තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම, පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සහ පුනර්ජනනීය බලශක්ති වර්ධනයට පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.


ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව කථානායකවරයා මේ සතිය මුලදී නිවේදනය කළේය.

එහි නිර්ණය සාරාංශයේ දක්වා ඇති යෝජනා අනුව පනත් කෙටුම්පත සංශෝධනය කළහොත් එම නොගැලපීම විසඳිය හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති සියලුම සංශෝධන රජය පිළිගන්නා බවයි.

 නව විදුලිබල පනතේ අරමුණ රටේ විදුලි බලය තනි ඒකාධිකාරී සමාගමකට පවරාදීම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද ප්‍රකාශ කළේය.දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ අනුව 'අද ඉතිහාසයේ පාවාදීමේ දිනයක්' බවට පත්වන බවයි.

මෙම නව පනත ගෙන ඒමේ මූලික අරමුණ 'ඉන්දියාවේ අදානිට ලංකාවේ විදුලිය ලබාදීම' එහිදී විජිත හේරත් මහතා අනාවරණ කර සිටියේය.

බලශක්තිය යනු රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපාන සාධකයක් බවත් රටක සම්ප්‍රේෂණය, බෙදා හැරීම රජය සතුව තිබිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේ නොවුණහොත් රටේ පැවැත්මට බලපෑම් එල්ල වන බවයි ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටියේය.

"69 ලක්ෂයක් ජනතාවගේ ජන වරමට පස්ස හරවලා තමයි මේ විදුලි පනත ගෙනල්ලා තියෙන්නේ.


මේකෙන් විදුලිබල මණ්ඩලය කෑලි 12කට කඩලා පෞද්ගලික අංශයට පවරාදීමක් තමයි මේකෙන් කරන්න හදන්නේ.. පුද්ගලික අංශයේ තරගකාරීත්වයක් ඇති කරනවා කිව්වට ඒකටත් පටහැනිව තමයි මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ.. රජය කියනවනම් පෞද්ගලික අංශයේ තරගකාරීත්වය තුළ මිල අඩුවෙනවා කියලා ඒ තරගකාරීත්වයත් මෙම පනතේ අඩංගුව ගත්තම එහෙම එකක් වෙන්නෙත් නැහැ..මේකේ රහස හරි පැහැදිලියි.. මේක ඉන්දියාවේ අදානි ආයතනයට දෙන්න ගෙනාපු පනත.. මේක කොලේ වහන්න දෙයක් නැහැ.. තරගකාරීත්වයක් තියනවනම් ඉන්දියාවේ අදානි සමාගම විතරද තියෙන්නේ.. එහෙනම් ඇයි අදානිවම තෝරගන්න හේතුව.. මේක කොලේ වහලා ගහන්න දෙයක් නැහැ.. මේ අපේ රටේ විදුලිබලය තනි පෞද්ගලික ආයතනයක ඒකාධිකාරයකට පවරා දීමක් තමයි මේ පනතෙන් වෙන්නේ.. බලශක්තිය කියන්නේ රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපාන සාධකයක්.. රටක සම්ප්‍රේෂණය, බෙදා හැරීම රජය සතුව තිබිය යුතුයි.. එහෙම නැතිවුණොත් අපිට පවතින්න බැහැ.. "