ceb-bill-reduce-protest

ඉදිරි මැතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් විදුලි බිල සැලකිය යුතු මුදලකින් අඩු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ හරහා යළිත් වතාවක් විදුලිබල මණ්ඩලය අර්බුදයකට ලක්විය හැකි බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව තුළදී විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබෙන යෝජනාවලට වෙනස් බවද එම සංගමයේ සභාපති ඉංජිනේරු ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.



ඊයේ (18දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගෘහස්ථ පාරිභෝගික ජනතාවට හා කර්මාන්ත සඳහා සාධාරණ ලෙස විදුලි බිල අඩු කර සහන සැලසිය යුතු බවත්, ආණ්ඩුව විසින් යෝජනා කර තිබෙන යෝජනාවලට අනුව කර්මාන්තවලට නිසි ලෙස සහන ලබා දීමට යෝජනා කර නොමැති බවත්ය.

එහෙත් ගෘහස්ථ විදුලි බිල සියයට පනහකට ආසන්න ප්‍රමාණයකින් අඩු කිරීමට යෝජනා කර තිබෙන බවත් විදුලි බිල පසුගිය කාලයේදී අධික ලෙස ඉහළ යාම නිසා කර්මාන්ත සඳහා දැඩි බලපෑම් එල්ල වී කර්මාන්ත වැසී යාම සිදුවූ බවද සඳහන් කළේය.

පසුගිය කාලයේදී විදුලිබල මණ්ඩලය දැඩි අර්බුදයකට ලක් වූ බවත් විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා මණ්ඩය තුළ තිබූ මූල්‍ය අර්බුදය යම් තරමකට සමනය වී තිබෙන බවද පවසා සිටියේය.විදුලිබල මණ්ඩලයට දරාගත නොහැකිව අසාමාන්‍ය ලෙස සහන ලබා දීමට කටයුතු කළහොත් විදුලිබල මණ්ඩලය යළිත් අර්බුදයකට ලක් විය හැකි බවත් මේ නිසා කර්මාන්තවලට හා ගෘහස්ථ පාරිභෝගික ජනතාවට සාධාරණ ලෙස විදුලි ගාස්තු අඩු කළ යුතු බවත් එහෙත් දේශපාලන වාසි ලබා ගැනීමට විදුලි ගාස්තු අඩු නොකළ යුතු බවද සඳහන් කළේය.

පුනකරි හා ඔට්ටමාවඩි සූර්ය විදුලිබල ව්‍යාපෘති දෙකක් සඳහා ඩෙන්ඩර් කැඳවීමකින් තොරව අවස්ථාව ලබා දීමට සැලසුම් කරමින් තිබෙන බවත්, මෙහිදී එක් විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් ඩොලර් ශත 8.75කට මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කළේය. එහෙත් පසුගිය මාසයේදී සූර්යබල ව්‍යාපෘතියකට අදාළව ඩෙන්ඩර් කැඳවීමක් සිදු කළ බවත් මෙම ඩෙන්ඩර් කැඳවීමෙදී විදුලි ඒකකයක් ඩොලර් ශත 5ත් 6ත් අතර මුදලකට ලබා දීමට ඩෙන්ඩර් ඉදිරිපත් වී තිබෙන බවත්, මේ නිසා මෙම විදුලි බලාගාර දෙකකටක් ඩෙන්ඩර් කැඳවිය යුතු බවද පවසා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ