chicken-diaria

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පැවැති රාජ්‍ය ආයතනයක වාර්ෂික සුහද හමුව හා සාකච්ඡාවකට මාධ්‍ය ආවරණය ලබාදුන් මාධ්‍යවේදීන් හතක් ඇතුළු නිලධාරීන් මාධ්‍ය ලේකම්වරු ඇතුළු පිරිසක් ලබාගත් රාත්‍රී ආහාරයේ කුකුල් මස් විසවීමෙන් රජයේ හා පෞද්ගලික රෝහල් කීපයක ප්‍රතිකාර ලබන බව මාධ්‍යවේදියෝ පවසති.

මාධ්‍ය හමුව එක්තරා අමාත්‍යාංශයක මාධ්‍ය ලේකම් අංශයෙන් ඉකුත් 31 දින ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක දී පැවැත්විණි. ඒ සඳහා අමාත්‍යාංශ නිලධාරීහු,

මාධ්‍ය ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. එම උත්සව ආවරණ කටයුතු සඳහා මෙම මාධ්‍යවේදී පිරිස සහභාගි වී ඇති බවත්, අවසානයේ පැවැති භෝජන සංග්‍රහයට ලබාදුන් කුකුලු මස් ආහාරයට ගනු ලැබ ඇති බවත් ඔවුහු කියා සිටිති.

අනතුරුව රාත්‍රිය නේවාසිකවලට ගිය පසු බඩයාමටත් වමනයත්, හිස කැක්කුම සමඟ ක්ලාන්ත ගතිය ඇතිවී අසාධ්‍ය තත්වයන් තුළ විවිධ පුද්ගලයන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල ඇතුළු පෞද්ගලික රෝහල් කීපයකට ද ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් මේ වන විටත් අසාධ්‍ය තත්වයෙන් පසුවේ. අදාළ අමාත්‍යාංශය මට්ටමින් කිසිවකු තමන් පිළිබඳව සොයා බැලීමක් පවා සිදු කර නොමැති බවත් කනගාටුවෙන් ඔවුහු සිහිපත් කර සිටිති.



මේ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණිලි කරනු ලැබ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ හෝටලය වෙත ගොස් ක්ෂේත්‍ර පරීක්ෂණයක් පවා සිදුකර අදාළ ආයතන වෙත වාර්තා පවා යවා ඇති බවට දැන ගන්නට ලැබී ඇතැයිද මාධ්‍යවේදිහු කියා සිටිති.මේ තත්වයන් තුළ සතියකට ආසන්න කාලයක් තම වෘත්තීය කටයුතු ද කරගත නොහැකිව දැඩි ආර්ථික ගැටලුවලට මාධ්‍යවේදීන් පත්වී සිටින බවත් ඔවුහු වැඩි දුරටත් පවසති.
එච්.එම්. ධර්මපාල