coconut-oil-price-hike

මේ දිනවල පොල්තෙල් මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ මැසිවිලි නගති. නමුත්
වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළ යාමට සාධාරණ හේතු නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.



එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පැවසුවේ ආනයනික පොල්තෙල් සඳහා බද්ද වැඩි කර නොමැති බවයි.



මේ වසරේ මැයි මාසය දක්වා පොල්තෙල් මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කර ඇති අතර එය පසුගිය වසරට වඩා දෙගුණයකටත් වඩා වැඩිය.

පරිභෝජනයට අවශ්‍ය තරම් පොල්තෙල් මෙරට ඇති බැවින් කිසිදු අයුරකින් පොල්තෙල් මිල ඉහළ දැමීමට ඉඩ දිය නොහැකි බව මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසා තිබේ.

මේ අතර වෙළෙඳපොළේ පොල්තෙල් මිල පාලනය කිරීම සඳහා නව නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.