court-orders

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් කිලෝග්‍රෑම් 196.8 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ගෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනාගෙන් රටින් පලා ගොස් ඇති විත්තිකරුවන් දෙදෙනා යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග අධිකරණයට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට ඊයේ (27දා) නියම කළේය.2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් මෙම විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් නිදොස්කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනාගෙන් දෙදෙනෙකු රටින් පලා ගොස් ඇතැයි දැනුම් දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය.



ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් නිදොස්කොට නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා වරදකරුවන් බවට තීරණය කර ඔවුන්ට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා නීතිපතිවරයා ගොනු කර තිබූ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය කළ දැනුම් දීමක් සලකා බැලූ අධිකරණය එම විත්තිකරුවන් දෙදෙනාගේ ඇපකරුවන්ට ඉදිරි දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.තුරේරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල බෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම අභියාචනා පෙත්සම කැඳවනු ලැබීය.පෙත්සම කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙව්ය කරුණු දක්වමින් මහාධිකරණයෙන් නිදහස් කළ විත්තිකරුවන් පස්දෙනා අතුරින් විත්තිකරුවන් තිදෙනකුට පෙත්සමට අදාළව සිතාසි භාර දී ඇතැයි කීවාය.මෙහි දෙවැනි සහ පස්වැනි වගඋත්කරුවන් මේ වන විටත් රටින් පිටවී ගොස් ඇති බවත් දෙවැනි විත්තිකරු වීසා කාලය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් ඔහු ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන බවත් පස්වැනි විත්තිකරු 2023 ජනවාරි 15 වැනිදා සිංගප්පුරුවට ගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බවත් අයේක්ෂා ජිනසේන මෙනෙවිය කීවාය.



විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සොලිසිටර් ජනරාල්වරිය මෙම විත්තිකරුවන් දෙදෙනා රටින් පිටවී ගොස් ඇත්තේ නීත්‍යනුකූල මාර්ගයෙන් යැයි කීවාය. පංචපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරේරාජා මහතා අධිකරණය අමතමින් ඉන්දුනීසියානු පොලිස් අත්අඩංගුවේ පසුවන විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණය අමතමින් උදර්පන නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කර විත්තිකරුවන් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ඇතැයි පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිතාසි භාරදී ඇති විත්තිකරුවන් තිදෙනාට ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙන්නැයි ඔවුන්ගේ නීතිඥවරයාට නියම කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඔවුන්ට රටින් පිටවී යෑමෙන් වැළකී සිටින ලෙස දැනුම් දෙන ලෙසද නියම කළේය. පෙත්සම් විභාගය අගෝස්තු 06වැනිදා පැවැත්වීමටද නියම කෙරිණ.



2019 වසරේ නොවැම්බර් මස 21වැනිදා ත්‍රිකුණාමලයට ඔබ්බෙන් ගැඹුරු මුහුදේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩු පවරන ලද අතර දීර්ඝ නඩු විභාගයකින් පසු 2023 අප්‍රේල් 06 වැනිදා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කෙරිණ, මහාධිකරණ තීන්දුව නීතියට පටහැණි හෙයින් එම තීන්දුව අහෝසි කර විත්තිකරුවන් චෝදනාවන්ට වරදකරුකර ඔවුන්ට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය ගොනු කර ඇත.
බුද්ධිමාල් රුබේරු