dengue-information

මැයි මාසයේ සිට ඩෙංගු රෝගීන් වාර්තා විම සීඝ්‍රයෙන් ඉහළ යන බවත් එය වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවටත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.



එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ පවතින මෝසම් වර්ෂාවත් සමග මෙම වසංගත තත්ත්වය ඇතිවිය හැකි බවයි.

එසේම පසුගිය වසරක කාලයක් තුළ සිදු කළ කීට විද්‍යා සමීක්ෂණවලට අනුව මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව නිරීක්ෂණය වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම දිස්ත්‍රික්ක පහළොව වන්නේ කොළඹ, ගම්පහ, කළුතර, නුවර, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, රත්නපුර, කෑගල්ලයි.

ගතවූ සතියක කාලය තුළදී ඩෙංගු අවදානම සහිත දිස්ත්‍රික්ක පහළොවක් (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරයි.



එසේම ඩෙංගු අවධානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හැත්තෑඑකක් (71) හඳුනා ගෙන තිබේ.

මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් විසිහතරදහස් නවසිය විස්සක් වාර්තා වී ඇති අතර එම රෝගීන්ගෙන් නව දෙනකු මරණයට පත්ව ඇත.

තවද මේ මාසයේ ගතවූ දින දෙකක කාලය තුළ ද පමණක් ඩෙංගු රෝගීන් එකසිය හයදෙනකු වාර්තා වී ඇති අතර මෙය සීඝ්‍ර වැඩිවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. පසුගිය මැයි මස විසිහයවැනිදා සිට ජුනි මස පළමුවැනිදා දක්වා කාලය තුළදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 93974 ක් අධීක්ෂණය කළ බවත්, එයින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 28310ක් පමණ වාර්තා වී තිබෙන බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.



එසේම මදුරු කීටයන් සිටින ස්ථාන 4890ක් හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 3121කට රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම පුද්ගලයන් 981ක් ස්ථාන හිමියන්ට පැවරීමට කටයුතු කර තිබේ.

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක වූ මදුරු මර්දන සතියට අමතරව තවදුරටත් ඉදිරියට සතියක, දෙකක කාලයක් එලෙසම පිරිසිදු කිරීමේ කටයුතු සහ ධූමායන කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල දැනුම් දී තිබේ. තවද දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දීමක් කරයි.

(වරුණි පෙරමුණ, කමල් සුරවීර - මහනුවර)