dhanushka-seneviratne-attack

රූපවාහිනී නිවේදක  ධනුෂ්ක සෙනෙවිරත්න මහතාට පහරදීම පිළිබඳව වහාම පරීක්ෂණයක් කර වගකිවයුත්තන් හෙළිකිරිම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ රූපවාහිනී මාධ්‍යවේදියකු වන ධනුෂ්ක සෙනෙවිරත්න මහතා රැඳී සිටි කැලණියේ නවාතැන් ගෘහයට පොලිසියෙන් බව පවසා

බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් කළ

අමානුෂික පහරදීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකර වගකිවයුත්තන් හෙළිදරව් කිරීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි. පොසොන් පොහෝදා අලුයම 3ට පමණ ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදී ධනුෂ්ක සෙනෙවිරත්න හිසට හා අත්පාවලට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

තමන් නිදා සිටියදී පැමිණි පිරිසක් පොලිසියෙන් බව පැවසීම නිසා දොර විවෘත කළ අවස්ථාවේ වෙනත් පුද්ගලයකු ගැන විමසා ඔහු එහි නොමැති බව පැවසීමෙන් උරණව පුටුවක් කැඩෙනතුරු ඉන් පහර දුන් බව ධනුෂ්ක ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශයට අනුව ඔහු පහර කෑමට ලක්වන්නේ පොලිසියෙන් බව පැවසීම හේතුවෙන් දොර විවෘත කළ පසුය.

එම නිසා මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ කොට වගකිව යුත්තන් නීතිය හමුවට පැමිණවීම පොලිස් දෙපාර්තමේන්තුවේ කඩිනම් වගකීමකි. යුක්තිය මෙහෙයුම වැනි ක්‍රියාකාරකම්වලින් සිය කීර්ති නාමය ඉහළ නංවා ගැනීමට පොලිසිය උත්සාහ ගන්නා අතරතුර මැර කණ්ඩායම් තමන් පොලිසිය බව පවසමින් මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කිරීම සරදම් සහගත බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හැඟීමයි.