dinesh-gunawardane-court

පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) නොතීසි නිකුත් කළේය. පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීමට මෙන්ම මැතිවරණ කොමිසමට නිකුත් කර ඇති මාර්ග උපදේශන මාලාව අනුව කටයුතු කිරීමට බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා පැෆරල් සංවිධානය ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නොනිසි ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා හරහා වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලයට භාර දීමට කටයුතු කරන ලෙස ද නියම කළේය.

පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඇත්නම් ලබන 24 වැනිදා ගොනු කිරීමට ද ප්‍රති විරෝධතා ඇත්නම් ලබන 28 වැනිදා ගොනු කිරීමට ද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු තහවුරු කිරීම සඳහා පෙත්සම ජූලි 03 වැනිදා කැඳවීමට ද නියම කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙන්ගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.පැෆරල් සංවිධානය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ සිටී. නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් පැෆරල් සංවිධානය ගොනු කෙරුණ මෙම පෙත්සමේ සැප්තැම්බර් 17 වැනිදාත්, ඔක්තෝබර් 16 වැනිදාත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට දින නියම කර ඇතැයි සඳහන් කර ඇත.

එසේ තිබිය දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා *2024 අයවැය යෝජනා' නමින් චක්‍ර ලේඛයක් නිකුත් කරමින් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයි ද ඊට අමතරව "කඳුකර දර්ශකය" නමින් තවත් චක්‍ර ලේඛයක් නිකුත් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට යෝජනා කර ඇතැයි ද

පෙත්සම්කාර ෆැපරල් සංවිධානය පෙන්වා දෙයි. මෙම ව්‍යාපෘති දෙකම ලබන ජූලි 31 වැනිදා වන විට අවසන් කළ යුතු බවට ද නිවේදනය කර ඇතැයි ද සඳහන් වේ.මෙම ව්‍යාපෘතිවලට අනුව ප්‍රජා කමිටුවලට රුපියල් කෝටිය බැගින් මුදල් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ද මෙම ව්‍යාපෘතිවල යටි අරමුණ ජනාධිපතිවරණය සහ පළාත් පාලන මැතිවරණවල දී බලයේ සිටින දේශපාලන පක්ෂවලට වාසි ලබා ගැනීම යැයි ද සඳහන් කරන පෙත්සම්කාර ෆැපරල් සංවිධානය මෙවැනි කටයුතු මැතිවරණ නීතිවලට අනුව තහනම් ක්‍රියා මෙන්ම මැතිවරණ කොමිසමේ විධිවිධාන් උල්ලංඝනය කිරීමක් බව ද සඳහන් කර ඇත.

මෙවැනි කටයුතු වලින් ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් පළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකරන ලෙස සහ මැතිවරණ කොමිසමේ උපදේශ මාලා අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර සංවිධානය පෙත්සම විභාගයට ගැනීමටද, චක්‍රලේඛ නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීමටද, අමාත්‍ය මණ්ඩලය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශ කිරීමට ද, කෝටියක වන්දියක් ගෙවීමට ද ඉල්ලීම් කර ඇත.ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරු මඩුල්ල පෙත්සම ජුලි 03 වැනිදා කැඳවීමට ද නියම කළේය.ෆැපරල් සංවිධානය වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර මහතා පෙනී සිටියේය.
රන්ජන් කටුගම්පොළ